Tuesday, January 8, 2019

පුදූර් බෝම්බ මල්ලේ සිද්ධියට කාන්තාවක ඇතුළු 3 ක් දැලේ

SHARE
Loading...
  
වවුනියාවේ පුලියන්කුලම පුදූර් ප්‍රදේශයේදී බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (8 වැනිදා) වන විට කාන්තාවක ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය කියා සිටින්නේ දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මේ සිද්ධියට 12 දෙනකු වක්‍රාකාරයෙන් සම්බන්ධ වී සිටින බවය.
මේ සිද්ධියට ප්‍රධාන වශයෙන් සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සිටින බව කියන පොලීසිය ඉන් එක් අයකු බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැගෙන එන ලද පුද්ගලයා වන අතර අනෙක් පුද්ගලයා වන්නේ ඔහු මෙහෙයවන ලද තැනැත්තාය.
ප්‍රධාන සැකකරු මෙහෙයවන ලද පුද්ගලයා මේ වන විට ඉන්දියාවට පලා ගොස් සිටින අතර ප්‍රධාන සැකකරු පොලීසිය විසින් හඳුනා ගෙන තිබේ.
නමුත් මේ සැකකරුගේ නම් ගම් ලිපිනයන් ව්‍යාජ ලෙස යොදා හැඳුනුම් පත් සකස් කොට ඇති අතර ඔහු දුරකථන සිම්පත් ලබා ගෙන ඇත්තේ ද ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසියට කාන්තාවකගේ දුරකථන අංකයක් ලැබී ඇති අතර ඒ ඔස්සේ කළ පරීක්ෂණවල දී එම කාන්තාවගේ නිවසේ තිබී ටී-56 වර්ගයේ ගිනි අවියක් හා මෝටාර් බෝම්බ තුනක් ද ජාතික හැඳුනුම්පත් ගණනාවක ඡායා පිටපත් ද හමු වී තිබේ.
කාන්තාව පොලීසියට පවසා ඇත්තේ උරයේ බහා තිබුණු අවි වෙනත් අයෙකු විසින් පසුව ගන්නා පොරොන්දුව මත තබා යනු ලැබූ බවයි. හැඳුනුම්පත්වල ඡායා පිටපත් ළඟ තබාගෙන සිටියේ බැංකු ණය ලබා ගැනීමේ කටයුතු සඳහා යැයි ද ඇය පවසා තිබේ.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු කාන්තාව පෙන්වා විමසූ විට ආයුධ සහිත උරය තබන ලද්දේ ඔහු විසින් නොවන බව කාන්තාව පවසා තිබේ.
මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මුලින්ම අත්අඩංගුවට ගන්නා ලද විශ්වවිද්‍යාලයක සේවය කරන සුළු සේවකයා අධිකරණයට ඉදිරිපත් කොට නිදහස් කොට යවා තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ මේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සමඟ දුරකතන සංවාදයක් පවත්වා තිබීම හේතුවෙනි.
කෙසේ වෙතත් මේ සිද්ධියට කෙළින්ම සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙහෙයුම් හා පරීක්ෂණ පවත්වමින් සිටියි.
-දිවයින පුවත්පත




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: