Tuesday, November 27, 2018

රඟපාන්න මට ආසාවක් තිබුණේ නැහැ

SHARE
2018-11-23-ent-66
මේ දිනවල හිරු රූපවාහිනි නාළිකාවේ දිගහැරෙන ‘සිද්ධාර්ත ගෞතම’ ටෙලි නාට්‍යයේ ‘පුණ්ණා’ ලෙස රංගනයෙන් දායක වන සිනෙති අකිලා සමගින් අද කතාබහ අපි මෙලෙස ඇරඹුවෙමු. ටෙලි නාට්‍යය අතළොස්සකට රංගනයෙන් දායක වී ඇති ඇය, වැඩිපුර දායකත්වය සපයා ඇත්තේ චිත්‍රපටය වෙනුවෙනි. අද ‘සාරවිට’ කතා බහ දිග හැරෙන්නේ ඇය සමගය.

ඔබ ඇයි චිත්‍රපටවලට පමණක් සීමාවෙලා ?2018-11-23-ent-67
මම ක්ෂේත්‍රයට ආවේ සිනමාවෙන්. ඒ නිසා සිනමා නිර්මාණවලට තමයි වැඩිපුර කතා කරන්නේ. මාත් කැමතියි සිනමාවට. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නත් ආරාධනා ලැබෙනවා. නමුත් ඊට වැඩියෙන් සිනමා නිර්මාණවලට මට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙනවා.

චිත්‍රපටවලටද? ටෙලි නාට්‍යයද? වඩා කැමති?
චිත්‍රපටවලට. දැනට මම රංගනයෙන් දායක වුණ චිත්‍රපට හතරක් ප්‍රදර්ශනය වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රමාණයක් ප්‍රදර්ශනය වෙන්නත් තියෙනවා. ටෙලි නාට්‍යය ගත්තොත් ඉතාම සුළු ප්‍රමාණයකට පමණයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ.

දැවැන්ත ටෙලි නිර්මාණයකින් ඔබව අපි දකිනවා?
ඔව්, හිරු රූපවාහිනි විකාශය වෙන ‘සිද්ධාර්ථ ගෞතම’ ටෙලි නාට්‍යයේ ‘පුණ්ණා’ කියන චරිතය මගින්. මේක මට විශේෂ චරිතයක්. මොකද, පළමු වතාවට ලංකාවේ මේ වගේ දැවැන්ත ටෙලි නාට්‍යයක් කරන්නේ. ඉතින් ඒ වගේ දැවැන්ත නිර්මාණයක චරිතයක් කරන්න ලැබීමත් මම දකින්නේ එක්තරා ආකාරයක වාසනාවක් විදිහට. අනික් කාරණය තමයි ‘පුණ්ණා’ කියන චරිතය. මම කැමති හා මට වඩාත් ගැළපෙන චරිතයක්.

රඟපාන්න කැමැත්තක් ඇති වුණේ කොයි කාලෙද?
ඇත්තටම රඟපාන්න මගේ ආසාවක් තිබුණෙ නැහැ. මගෙ කැමැත්ත තිබුණෙ අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ගිහින් වෘත්තියක් තෝරගන්න. අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ ජපන් මාධ්‍යයෙන්. තේරෙන කාලේ හිතුවා ජපානයට යන්නත්. මේක මට අහම්බෙන් ලැබුණ අවස්ථාවක්. මේක මගේ අම්මාගේ තිබුණ ආසාවක්. ඇය මාව නිතරම වගේ නර්තන තරගවලට, ගීත ගායන තරගවලට ඉදිරිපත් කළා. ඒ අත්දැකීම් එක්ක පාසල් වේදිකාවටත් මම සම්බන්ධ වුණා. පසුකාලීනව වේදිකාව මගේ ජීවිතේ වුණා. අදටත් මට වේදිකාව නුපුරුදු තැනක් නෙමෙයි. ඊට අමතරව හොඳම පිටපත් රචනයට හිමි සම්මාන පවා මම දිනාගෙන තියෙනවා. ඔය අතරේ තමයි සෝමරත්න හා රේණුකා යුවළ මට මුණගැහෙන්නේ. ඔවුන්ගේ ආරාධනයක් මත මම ‘සිරි පැරකුම්’ චිත්‍රපටයට සම්බන්ධ වෙනවා.

‘සිරි පැරකුම්’හි ‘කළු එතෙනා’ට කැමති අය අදටත් ඉන්නවාද?
ඔව්, අදටත් ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් නැහැ. ඊට අමතරව ‘සරිගම’ චිත්‍රපටයේ ‘ඔල්’ කියන චරිතය ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැදුණ තවත් චරිතයක්. විවිධ වයස් කාණ්ඩවල ප්‍රේක්ෂයන්ගේ ප්‍රතිචාර මට ලැබෙනවා. විශේෂයෙන්ම පොඩි දරුවන්ගෙන්. ‘කළු එතෙනා’ අක්කේ කියලා සමහර වෙලාවට මඟ තොටේදී පොඩි දරුවෝ කෑගහලා අඬගහපු අවස්ථාත් තියෙනවා. මම කරපු චිත්‍රපට ගත්තොත් බොහෝ වෙලාවට රඟපෑවේ ළමුන් වෙනුවෙන් තැනුණ චිත්‍රපට. ඒ නිසා ගොඩක් වෙලාවට මාව අඳුන ගන්නේ ඒ අය. ඉදිරියට එන්න තියෙන සිනමා නිර්මාණ බොහෝමයක්ම දරුවන් වෙනුවෙන් නිර්මාණය වුණ ඒවා.

පසුගිය කාලේ එක දිගට අපි ඔබව නිර්මාණවල දුටුවා?
ඔව්, ‘සිරි පැරකුම්’ චිත්‍රපටයෙන් පස්සේ ‘රන් සයුර’, ‘සරිගම’ හා ‘සේයා’ චිත්‍රපටවල මම රඟපෑවා. ටෙලි නාට්‍යය ගත්තොත් ‘හදයා’ වගේම; මැතක දී විකාශය අවසන් වුණ ස්වාධීන රූපවාහිනියේ ‘අහිමි’ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඉදිරියට එන්න තියෙනවා ‘රන්දෝණි’, ‘සිරිගප්පි’ හා ‘වෙස්සන්තර’ කියන චිත්‍රපට. ඒ වගේම මේ දිනවල සෝමරත්න සර්ගේ තවත් අලුත් චිත්‍රපටයක වැඩ කරනවා.

2018-11-23-ent-65 




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: