Sunday, January 6, 2019

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එජාපයට එක්වෙතැයි විශ්වාස කරන්නේ නෑ - දයාසිරි

SHARE
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට එක්වී එම පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා‍ පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මෙරට සමස්ථ වැඩකරන ජනතාවගේ දේශපාලන පක්ෂය බවත් වමේ දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ට එක්සත් ජාතික පක්ෂයේ මතවාද සමඟ කිසිසේත් එකඟ විය නොහැකි බවත් වැඩබලන මහලේකම් වරයා සඳහන් කළේය. ගතවූ වසර තුනහමාරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව යහපාලන ආණ්ඩුව කරගෙන ගිය ද තව දුරටත් එක්ව ගමන් කළ නොහැකි හෙයින් ආණ්ඩුවෙන් වෙන්වීමට තීරණය කළ බවද දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එවැනි පසුබිමක් තිබියදී එක්සත් ජාතික පක්ෂයේ අරමුණු ඉටුකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හෝ සාමාජිකයින් නැවත වතා‍වක් එජාපයට එක්වනු ඇතැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන නව මහලේකම්වරයා ලෙස පක්ෂය ශක්තිමත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ජයසේකර මහතා කීය. ඉදිරි සතිය තුළ ආසන සංවිධායකයින් පත්කර අවසන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල මණ්ඩල, දිස්ත්‍රීක් සංවිධාන, ශාඛා සමිති ආදි සියල්ල ඒකරාශි කරමින් පක්ෂය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: