Wednesday, October 21, 2020

කොරෝනා සමාජගත වී ඇති බවක් එලියට පෙන්නේ නැ.

SHARE
මේ වනවිට ‍රටේ දිස්ත්‍රික්ක 20 කට වැඩි ප්‍රමාණයකින් කොවිඩ් 19 ආසාදිතයන් හමු වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන් බවයි.

බළධාරීන් දිගින් දිගටම පවසන්නේ වෛසරය තවමත් සමාජගත පැතිරීමක් දක්වා වර්ධනය වී නොමැති බවයි. එහෙත් එවැනි අනතුරක් පවතින බව වෛද්‍යවරුන් පවසනවා.

මේ සම්බන්ධයෙන් රටේ බොහෝ දෙනාට ගැටලුවක් වී තිබෙනවා. සීමිත කාලයක් තුළදී මෙතරම් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී තිබියදී, රටේ බොහෝ ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වී තිබියදී වෛරසය සමාජගත වී නොමැති බව පැවසීම ඇතැම් පුද්ගලයන්ගේ හාස්‍යයට පවා ලක්ව තිබෙනවා. ඇතැම් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන්නන් පවසන්නේ ආසාදිතයන් සොයා ගැනීමට වඩා සමාජය යනු කුමක්දැයි සොයා ගැනීම අසීරු වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැහැදිලි කළේය.

වෛරසය සමාජගත වී ඇති බවට පැවසිය හැක්කේ යම් ආසාදිතයෙකුට වෛරසය ආසාදනය වූ ආකාරය තහවුරු කරගත නොහැකි ආසාදිතයන් විවිධ ප්‍රදේශවලින් හමුවන තත්වයක් මතු වුවහොත් බවයි. එහෙත් මේ දක්වා එවැනි තත්වයක් මතුව ඇති බවත්, මෙතෙක් හමු වූ සියලු ආසාදිතයන් මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ පුද්ගලයන් බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

ඔවුන් එක්කෝ මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවකයන්‍ හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන්, එසේ නැතහොත් දෙවැනි වටයේ හෝ තෙවැනි වටයේ ආශ්‍රිතයන් බව සුදත් සමරවීර මහතා පවසනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් මෙතෙක් හඳුනා ගත් ආසාදිතයන්ද මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ පුද්ගලයන් බවයි වෛද්‍යවරයා පවසන්නේ.

මෙම පොකුරට සම්බන්ධ නොවන ආසාදිතයන් තවමත් වාර්තා වී නොමැති බැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස සුදත් සමරවීර මහතා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සමස්ත ලෝකයෙන්ම මෙම වෛරසය තුරන් වනතුරු හෝ නිශ්චිත ඖෂධයක් සොයා ගන්නා තෙක් ඕනෑම මොහොතක වෛසරය ව්‍යාප්ත විය හැකි බවත්, දැනට ව්‍යාප්ත වී ඇති පොකුර අවසන් වුවද හෙට දිනයේදී නැවතත් එවැනිම පොකුරක් ඇතිවිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා. ඒ නිසා සාමාන්‍ය ජනතාව හැකිතරම් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින්, හැකිතරම් ගමන් බිමන් අවම කරගෙන ආරක්ෂාකාරී ලෙස කටයුතු කළයුතු බවද වෛද්‍යවරයා දන්වා සිටිනවා.

-වරුන මහීශ.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: