Tuesday, September 17, 2019

පබාටත් පැරදුනු කරු ජනපති සටනට එනවා,ජලනිට ආර්යාව වෙන්න තව කල් යනවා.

SHARE

සියලු ජාතිවාදී අන්තවාදයන් පැරදවීමට, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට, රට එකම නීතියක් යටතට ගෙන ඒමට, බටහිර අධිරාජ්‍යවාදයේ ගොදුරක් බවට පත්වීම වැළැක්වීමට ලැබෙන අවසන් අවස්ථාව එළඹෙන ජනාධිපතිවරණය ලෙස සලකා සුදුසුම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ජනතාව පෙළගැසිය යුතු බවත් ඒ ‘අන්තිම බස් රථය මිස් කර ගතහොත්’ අප ජාතියට ‘අනිච්ඡාවත සංඛාරා’ කීම හැර වෙනත් දෙයක් ඉතිරි නොවන බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අධිනීතිඥ සිසිර ජයකොඩි මහතා සංවිධානය කර තිබූ ‘ගෝඨාභය ජය තහවුරු කරමු’ යන තේමාව යටතේ කැළණිය ප්‍රදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.

“ලංකාව තිබෙන්නේ ලෝක සිතියම තුළ බව වටහාගෙන අපි කටයුතු කළ යුතුයි. ලෝක බලවතුන් හැමදාම ලෝක සිතියම තුළ තිබෙන ලංකාව දෙස එහි පිහිටීමේ වැදගත්කම නිසාම ඇස ඉවතට නොගෙන බලා සිටියා. ඔවුන්ට උවමනා මේ රට තම ග්‍රහණයට ගැනීමටයි. ඔවුන් කොටි ත්‍රස්තවාදය පැරදවීම සම්බන්ධයෙන් කනස්සල්ලෙන් සිටියා. ඒකාධිපති පාලනයක් සේ සලකා ‘රාජපක්‍ෂ පාලනය’ ‘රාජපක්ෂ රෙජීමය’ ලෙස හැඳින්වූවා. ශ්‍රී ලංකාව තම ග්‍රහණයට ගැනීමේ උත්සාහයට රාජපක්ෂ පාලනය බාධාවක් නිසා එම පාලනය වෙනුවට තමන්ට ගැති රූකඩ පාලනයක් ගෙන ඒම ඔවුන්ගේ අරමුණ වූවා. ඒ අනුවයි ‘රාජපක්ෂ රෙජීමය’ නම බෞතීස්ම වන්නේ.

‘යකඩ මිනිසා මළකඩ කඩන හැටි’

ඒ අනුව 2015 ජනවාරි 8 වැනිදා බටහිර බලවතුන්ගේ උවමනාව ඉටු වුණා. ‘රාජපක්ෂ රෙජීමය’ ගෙදර යැව්වා. රූකඩ පාලනයක් බලයට ආවා. අපි රටක් ලෙස බටහිර බලවතුන්ට උවමනා තීරණය ගත්තු සෑම විටම රටට, අපට වැරදුණා. අපටත් තිබුණා අර ‘යකඩ මිනිසා’ වගේ ඒ පැත්තට පැනලා ඒ වැරදි තීරණයට උදව් කරන්න. නමුත් අපි කිසි ලෙසකින්වත් මේ මව් පොළොවට මියයන තෙක් ද්‍රෝහී වන්නේ නැහැ. දැන් බලන්න ‘යකඩ මිනිසා’ ඒ පැත්තට ගිහිල්ලා ‘මලකඩ ටික’ කඩාගන්න විදියක් නැතිව ඉන්නවා. රුපියල් මිලියන 8,970ක එයා මලකඩ කඩාගන්න වියදම් කරනවා. එයාට ‘මලකඩ කඩාගන්න’ රුපියල් මිලියන 8,970ක් ලැබෙන කොට රට බේරාගත්තු රණවිරුවන්ට තමන්ගේ විශ්‍රාම වැටුප මියයන තෙක් ලබාගන්න කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණ කරන්න සිදු වෙලා. මේ පිරිසට වයස අවුරුදු 55න් පසුව වසර තිහක් විශ්‍රාම වැටුප් ප්‍රදානයට වැය වන මුදල රුපියල් මිලියන 1600යි. නමුත් මේ ආණ්ඩුව ඒක නොදී ‘යකඩ මිනිසාට මලකඩ කඩන්න’ රුපියල් මිලියන 8, 970ක් ලබා දී තිබෙනවා. ඔන්න මෙයාලා හදපු ‘ඉන්න හිතෙන රට’

බටහිර මාර්ග සිතියම

2015 ජනවාරි 08 වැනිදා ‘රාජපක්‍ෂ රෙජීමය’ ගෙදර යවලා මේ බටහිර බලවතුන් ‘රෙජීම් චේන්ජ්’ එකක් කළා. අද යූඑන්පියට ඉතා තදින් බැණ වැදුණාට එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරගැහුවේ ඒ ‘රෙජීම් චේන්ජ්’ එකටයි. මේ බටහිර බලවතුන්ට මාර්ග සිතියමක් තිබුණා. මහින්ද රාජපක්ෂ ගෙදර යවලා, බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ළඟට ගන්න, ඊට යටත් නොවන අපි වගේ කිහිපදෙනා හිරේ දමන්න. ඉන් පසු මහ මැතිවරණයකට ගිහිල්ලා යූඑන්පී. – ශ්‍රී ලනිප ශක්තිමත් ජාතික ආණ්ඩුවක් හදා ගන්න. රෙජීම් චේන්ජ් එකට කර ගහපු ජවිපෙට විපක්‍ෂ නායකකම ලබා දීම එහි තිබුණා. මේ ‘රෝඞ් මැප් එක’ තමයි ඔවුන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වුණේ. අපිට කල් තියාම මේ රෝඞ් මැප් එක තේරුම් ගැනීමට හැකි වුණා. ඒ විතරක් නොවෙයි ඊට රැහැනිව රට බේරාගන්නා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමටත් අපට එදා හැකි වුණා.

‘මහින්ද පරිච්ජේදය යළි ඇරඹීම’

මේ මාර්ග සිතියම හකුළවන්න නම් අපට එදා මුලින්ම මහින්ද රාජපක්‍ෂයන් දේශපාලනයෙන් විශ්‍රාම යැවීමේ වෑයම නතර කළ යුතුව තිබුණා. ‘රාජපක්‍ෂ චැප්ටර් එක ක්ලෝස් කිරීම’ නතර කළ යුතුව තිබුණා. එදා මහින්ද රාජපක්‍ෂයන්ට 58%ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණා. සිංහල බහුතරයකගේ කැමැත්ත ලැබී තිබුණේ මහින්ද රාජපක්‍ෂයන්ට. ඒ සිංහල බහුතරයේ කැමැත්තයි 2015 ජනවාරි 08 වැනිදා පරාජයට පත්වුණේ. ඒකයි සිංහල බහුතරය වෙසෙන ප්‍රදේශ ඒ පරාජයෙන් පසුව මළගෙයක් බවට පත්ව තිබුණේ. මහින්ද රාජපක්‍ෂයන්ගේ පරාජයෙන් හඬා වැටෙන මිනිසුන්ට ‘මහින්ද පරිච්ඡේදය’ යළි අරඹන්න පුළුවන් බව අපි දැක්කා. ඒ දැක්ම අනුව තමයි අපි දිනේෂ්, වාසු, ගම්මන්පිල මැතිතුමන්ලා සමඟ එක්ව 2015 පෙබරවාරි 18 වැනිදා ‘මහින්ද සුළඟ’ නිර්මාණය කළේ. සමහරුන්ට අද මේක මතක නැහැ, ඒ ගැන ඇහෙන එකත් මහ ඇනයක් බවට පත්වෙලා.

‘මහින්ද කුහක නැහැ’

එහෙම කුහකයන් පිරිසක් හිටියාට මහින්ද රාජපක්‍ෂයන් එසේ නොවෙයි. පසුගිය සැප්තැම්බර් 08 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති ජානිපෙ තුන්වැනි ජාතික මහා සමුළුවේදී එතුමා කීවා, ‘විශ්‍රාම ගිහින්, විශ්‍රාම සුවයෙන් ඉන්න හදපු මාව ආයෙත් දේශපාලනයට රැගෙන ආවේ විමල් මන්ත්‍රීතුමා ඇතුළු මේ පක්‍ෂ නායකයන් පිරිසය’ කියා. එතුමා එය පිළිගැනීමට කුහක වුණේ නැහැ. අපට සම්මාන අවශ්‍ය නැහැ. නමුත් එදා අපි ඒ කළ දෙය මතකයේ තිබිය යුතු දෙයක්. මහින්ද රාජපක්‍ෂයන් ගෙදර යැවීමේ සතුරාගේ උවමනාව අපි එදා ඒ විදියට පරාජයට පත් කළා. සතුරාගේ මාර්ග සිතියම හා බැඳුණු න්‍යාය පත්‍රය පළමුවෙන්ම අවුල් කළේ එතැනින්. ඒ සමඟම මෛත්‍රී සමඟ යාමට තීරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝදෙනකු මහින්ද සමඟ නතර වුණා.

‘ගැටුම සුසර කළා‘

එදා මහින්දගේ ආගමනයත් සමඟ ජනතා ආවේගය තීව්‍ර වණා. රට පුරා මහා දැවැන්ත රැලි නිර්මාණය වුණා. 2015 මහ මැතිවරණය ජයගත හැකි කඳවුර මහින්ද කඳවුර බවට පත් වුණා. මැතිවරණය ආසන්නයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ‘පහත් වැඩක්’ නොකළා නම් අපට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට තිබුණා. 113 නැතත් හදා ගැනීමට හෝ තිබුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිදු කළ ‘පහත් ක්‍රියාව’ නිසා මන්ත්‍රී ධුර සංඛ්‍යාව 97කට අඩු වුණා. නමුත් බටහිර බලවතුන්ගේ න්‍යාය පත්‍රය අවුල් කිරීමට එය ප්‍රමාණවත් වුණා. ජවිපෙ විපක්‍ෂය කර ‘බටහිරගැති ශක්තිමත් ජාතික ආණ්ඩුවක්’ හදා ගැනීම අපි නතර කළා. ඒකාබද්ධ විපක්‍ෂය බිහි කර පාර්ලිමේන්තුව තුළ සැබෑ විපක්‍ෂය ලෙස කටයුතු කිරීමට පටන් ගත්තා. අපි ගෙවී ගිය වසර හතරහමාර තුළ මේ බටහිර මාර්ග සිතියම හකුළා දමමින් ඉදිරියට ආවා. ඒ තුළ රනිල්-මෛත්‍රී ගැටුම උග්‍ර වීමට පටන් ගත්තා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර අප සමග ‘දින 52 ආණ්ඩුව’ හදන තැනට ඒ ගැටුම අපි ‘සුසර’ කළා. ඒවා නිකම් වුණේ නැහැ.

‘අලියා කෑව දිවුල : AKD

දින 52 ආණ්ඩුව හදපු නිසා ජනතාවට හොඳින්ම අවබෝධ වුණා ජනතා විමුක්ති පෙරමුණ, රනිල් වික්‍රමසිංහට තියෙන ගැතිභාවය. රනිල්ට බලයේ ඉන්න තිබෙන උවමනාවටත් වඩා ලොකුයි, ජවිපෙට රනිල්ගේ තිබෙන උවමනාව. දැන් ජවිපෙ අලුත් බ්‍රෑන්ඞ් එකක් අරන් ඇවිල්ලා ‘AKD’ කියා. ‘AGD : අලියා ගිලපු දිවුල’ වුණා නම් මරු. ‘AKD : අලියා කෑව දිවුල’ වුවත් නියමෙට ගැලපෙන බ්‍රෑන්ඞ් එකක්. අලියා දිවුල ගිල්ලාට පස්සේ එළියට එන්නේ මොකද්ද? මැද හිස්ව තිබෙන කට්ට. කොහොම නමුත් අපි එදා රට හමුවේ පෙන්වා දුන්නා ‘ජවිපෙ කියන්නෙ තවදුරටත් ජනතාවාදී දේශපාලනය ව්‍යාපාරයක් නොවෙයි. රනිල් හාමු බේරාගැනීමේ මෙහෙයුමක නිරතව සිටින බටහිර කොන්ත්‍රාත්තුවක් ඉටු කරන දේශපාලන නඩයක් විතරයි’ කියා.

‘ආපදාව ඇමෙරිකාවට ඕනෙ‘

කෙසේ නමුත් බටහිර බලවතුන් ලෙහෙසියෙන් තම මාර්ග සිතියම හකුළා ගන්නේ නැහැ. විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය දිගින් දිගටම මේ රට තම කොලනියක් බවට පත්කර ගැනීමේ උත්සාහයක නිරතව සිටිනවා. අභ්‍යන්තර ගැටුමක් රට තුළ නිර්මාණය කිරීමේ උවමනාව ඔවුන් තුළ තිබුණා. කොටි ත්‍රස්තවාදය වෙනුවට සහරාන්ලාගේ ත්‍රස්තවාදයට පාර කැපෙන්නේ එහෙමයි. රනිල්ට ඇමෙරිකාව ඕනේ. ඇමෙරිකාවට ආපදාවක් ඕනේ. ආපදාවක් හදන්න නම් සහරාන්ලා මරාගෙන මැරෙන්න ඕනේ. ඇමෙරිකා එක්සත් ජනපදයට ඕනෑම හදිසි තත්වයකදී රට තුළට පැමිණීමට රනිල් ‘ඇක්සා’ ගිවිසුම අත්සන් කර දුන්නා. මරාගෙන මැරෙන්න කැමති පිරිසක් හදන්න වහාබ් අන්තවාදය ව්‍යාප්ත කරන්න ඕනේ. ඒ ආගමික අන්තවාදය පතුරවන්න ශරියා විශ්වවිද්‍යාල ඇතුළු ආගමික මධ්‍යස්ථාන ඕනේ. ඒවා හදන්න කළු සල්ලි ඕනේ. කළු සල්ලි මහ බැංකුවේ අධීක්ෂණයෙන් තොරව රට තුළට ගෙන්වා ගන්න ඕනේ. රනිල් විදේශ විනිමය පනත සංශෝධනය කරලා ඒ උවමනාව ඉටු කර දුන්නා. සහරාන්ලා හැදුනා, බෝම්බ පිපිරුණා. ආපදාව ආවා. ඒත් ඇමෙරිකානු හමුදාවලට රට තුළට ඒමට තරම් තීව්‍ර ආපදා තත්වයක් ඇති වුණේ නැහැ. නමුත් යළි ආපදා තත්වයක් ඇති කොට ඇමෙරිකානු හමුදා රට තුළට රිංගවීමේ උත්සාහයක් පවතිනවා.

‘ප්‍රඥාවන්ත සමාජයක්‘

අපි හැමදාම මේ සතුරාගේ න්‍යාය පත්‍රය කල් තියා දැක්කා. ‘ඒ සතුරු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වීමට ඉඩ දෙන කිසිවක් කරන්න එපා’ කියා අපි හැමදාම ඉල්ලුවා. මානව ආපදාව ඇති වන්නේ බෝම්බ පිපිරීමෙන් පසුව සිදු වන ‘සිංහල – මුස්ලිම්’ මරාගැනිල්ලෙන්. අපි ඔබෙන් ඉල්ලා සිටියේ ‘ඒ ගැටුම හදන්න මැදිහත් වෙන්න එපා’ කියලයි. කිතුණුවන් 300කට අධික ප්‍රමාණයක් මියයද්දී, 500කට අධික පිරිසක් තුවාල ලබද්දී ඒ මරාගැනිල්ල සතුරාට උවමනා මාත්‍රා ගණනින් සිදු වූයේ නැහැ. ඔබ එය උපේක්ෂාවෙන් ඉවසුවා. ‘අපේ සමාජය ප්‍රඥාවන්ත සමාජයක්’ කියා ඔබ එදා ඔප්පු කොට පෙන්වූවා.

‘පබාට පැරදුණු එයා’

දැන් මේ බටහිර බලවතුන්ට ජනාධිපතිවරණයෙන් දිනවීමට උවමනා කාවද? රනිල්ම තමා. හැබැයි රනිල්ව උවමනා වුණත් දාන්න බැහැනේ. එයා දිනන්නේ නැහැනේ. ඒ නිසා බටහිර උවමනාව වී ඇත්තේ සිංහල ඡන්ද පදනමට වැඩිම බලපෑමක් කළ හැකි අපේක්ෂකයා යූඑන්පියෙන් දම්මවන්න. කවුද එයා? ‘පබාට පැරදුණු එයා’ තමයි කරූ ජයසූරිය. ‘බෝධිසත්ව ගුණෝපේත’ කිව්වට දින 52 ආණ්ඩුව කාලයේ එතුමාගේ ‘මරුමුස්කම’ එළියට ආපු හැටි, මේ රටේ ජනතාව හොඳටම දැක්කානේ.

‘රනිල්ගේ අවතාරයක්‘

සජිත් මහත්තයා වෙඩින් කාඞ් බෙදමින් ගියාට විවාහයට කලින් රනිල් ‘මනාලිය’ උස්සනවා. ජලනි නෝනාට ජනාධිපති ආර්යාව වෙන්න තව ආත්ම ගණනාවක් බලා ඉන්න වෙනවා (සභාවේ සිනා). සජිත් මහත්තයා ‘කාඞ් බෙදලා’ නිසා ලැජ්ජාවට වෙන පක්‍ෂයකින් හරි අපේක්ෂකයා වෙලා එන්න ඉඩ තියෙනවා. නමුත් යූඑන්පී අපේක්ෂකයා තමයි කරූ ජයසූරීය. එයා දිනුවොත් කවුද අගමැති? රනිල් අගමැති. අපි දන්නවානේ කරූ ජයසූරිය මෙතෙක් කලක් ‘කථානායක පුටුවේ’ වාඩි වෙලා වැඬේ කළ හැටි. රනිල්ගේ මූණ බලලා තමයි අපි අහන ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන්නේ. කරූ කියන්නේ රනිල්ගේ අවතාරයක්. පක්‍ෂ නායකකම රනිල් අතේ නිසා ‘දණ ගහපන් කරූ’ කියපු ගමන් එයා දණ ගහනවා.

‘කරූ ආවාට, පෑව්වේ නැහැ හිරු‘

මට මේ අවස්ථාවේදී මතකයට එනවා 1997 පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන කරූ ජයසූරිය මහතා කොළඹ නගරාධිපති වෙනවා. මමත් එම නගර සභාවට ජවිපෙන් නාගරික මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වෙනවා. අප දෙදෙනාම මුල්වරට මහජන නියෝජිතයන් ලෙස තේරී පත් වූයේ එම මැතිවරණයෙනුයි. එහිදී කරූගේ තේමා පාඨය වූයේ ‘ආවොත් කරු – පායයි හිරු’ කියලයි. නමුත් කරූ ආවාට හිරු පෑව්වේ නැහැ. එයා, නගර සභාවේ සියලු පරිපාලන කටයුතු නියෝජ්‍ය නගරාධිපති ඕමාර් කාමිල් මහතාට පවරා ‘බබා’ වගේ හිටපු එකයි කළේ. කරූ ජනාධිපති වුවත්, රනිල්ට උවමනා දේ කිරීමට ඉඩ දී නිහඬව සිටීවි. ඇමෙරිකාවට උවමනා සෝෆා, එම්සීසී ගිවිසුම් සියල්ල අත්සන් තැබේවි. නමුත් කරූ ආවම වෙන දේ තමයි එයා ජනාධිපතිවරණයෙන් පැරදීම. ඊට පස්සේ එයා මුදලුත් වියදම් කර ගෙන ගෙදර යනවා. රනිල් මහ මැතිවරණයෙන් කොහොමහරි මන්ත්‍රී ධුර ටිකක් අරගෙන ඇවිත් විපක්‍ෂ නායක වෙනවා.

‘ජනාධිපතිවරණ – කමින් සූන්’

කරූ අපේක්ෂකත්වය ලබාගෙන තවත් නාඩගමක් නටන්න සූදානම් වෙනවා, ‘අලියා කෑව දිවුල ’ සමඟ එකතු වෙලා. කරූ ජනාධිපතිවරණය අතුරතුර කියනවා ‘මම ජනාධිපති වෙලා මාස 06කින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා’ කියා. එවිට ‘අලියා කෑව දිවුල’ කියනවා, මම කරූ ජයසූරිය මහතා සමඟ මේ පිළිබඳව සම්මුතියකට පැමිණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වෙමි. ආමේන්’ කියා. ඕවා ඉදිරියේදී පෙන්වීමට නියමිත ‘ජනාධිපතිවරණ – කමින් සූන්’ ජවනිකා.

‘පරිපූර්ණ විසඳුම් සෙවීම‘

ජනාධිපතිවරණයේදී අපට තිබෙන්නේ සාපේක්ෂව වඩාත් හොඳම අපේක්ෂකයා දිනවීම. එහෙම නැතිව ‘225ම එකයි’ කියමින් පරිපූර්ණ විසඳුම් සෙවීම නොවෙයි. ‘පර්ෆෙක්ට්’ විසඳුම් සෙවීම නොවෙයි. අපි අසා තිබෙනවා, එක්තරා දෙවි කෙනෙක් තමන්ගේ මව වැනි කෙනෙක් විවාහයට ලැබෙනකම් බලා ඉඳලා වූ දෙය. අද හතරමං හන්දිවල එම දේව ප්‍රතිමාව තබා තිබෙනවා. ඒ දෙවියන් අදත් හතරමං හන්දියකට වී සුදුසුම කෙනා එනතෙක් බලා ඉන්නවා. ඒ වගේ පරිපූර්ණ අපේක්ෂකයා එන තෙක් බලා සිටින ‘අපි කාටවත් ඡන්දය දෙන්නේ නැහැ’ කියන පිරිස කරන්නේ මේ රට ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලනියක් බවට පත් කිරීමේ අපරාධයට අනියමින් සහයෝගය දීම.

මේ ජනාධිපතිවරණය අපට ජාතියක් ලෙස නැගී සිටීමට ලැබෙන අවසන් අවස්ථාවයි. සියලු ජාතිවාදී අන්තවාදයන් පැරදවීමට, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට, රට එකම නීතියක් යටතට ගෙන ඒමට, ශ්‍රී ලංකාව බටහිර අධිරාජ්‍යවාදයේ ගොදුරක් බවට පත් කිරීම වැළැක්වීමට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි. මේ බස් එක මිස් කරගත්තොත් ‘දෙවියන්ගේම පිහිටයි’. ඊට පසුව අපට කීමට ඇත්තේ ‘අනිච්ඡාවත සංඛාරා’ කියා පමණයි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
Loading...



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: