Tuesday, May 26, 2020

කොරෝනා කාලේ නළුවන්ට වෙච්ච දේ

SHARE
දුව එක්ක වැඩි කාලයක් ගෙවන්න ලැබීම වටිනවා - ගයාන් වික්‍රමතිලක
කබඩි ඉවර කළා... දැන් දුවගේ හුරතල් බලනවා -අමිල කරුණානායක
අවුරුදු තුනක් තිස්සේ ලියපු පොත ලියලා අවසන් කළා - කළණ ගුණසේකර

මම සම්බන්ධවෙලා හිටපු නාට්‍යවල රූගත කිරීම් පහුගිය කාලේ අතරමඟ නතර කරන්න වුණා. ‘රැස්’ නාට්‍යයේ රූගත කිරීම් පටන් ගන්න තියෙනවා. පහුගිය කාලෙම කළේ මගේ දුව එක්ක කාලය ගත කරපු එක. දැන් දුවට මාස අටක්. එක දිගට වැඩ කරපු කාලේ සමහර දවස්වල මට දුව ළඟ ඉන්න ලැබුණේ සතියට එක දවසක් වගේ.

ඉතිං මේ ලැබුණු විවේකයේදී මම දුව එක්කම හිටියා. දුවටත් හරිම සතුටුයි. චතුරිකාටත් එහෙමයි. දුව එක්ක වැඩි කාලයක් ඉන්න ලැබීම මට වටිනවා. ඉතිං දුව එක්ක ඉන්න කොට එයාව නාවන, එයාට කවන පොවන, කෑම හදන වැඩවලටත් මම උදවු වුණා. මම හරිම කැමැත්තෙන් චතුරිකා සහ දුව එක්ක කාලය ගත කළා. ඒක මට වටිනවා. මම කරන්න හිටපු චිත්‍රපටයේ වැඩත් මේ පවතින තත්ත්වය එක්ක කරන්න කල් දාන්න වෙනවා. ගොඩක් වෙලාවට මේ අවුරුද්දේ අග විතර වෙයි චිත්‍රපටයේ වැඩ පටන් ගනිද්දී.

කබඩි ඉවර කළා... දැන් දුවගේ හුරතල් බලනවා - අමිල කරුණානායක


හර්ෂ උඩකන්දගේ ‘කබඩි’ චිත්‍රපටයේ රූගත කිරීම් ඉවර කළ ගමන් තමයි අපිට කොරෝනා තත්ත්වය නිසා ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණේ. ඉතිං අපේ පවුලට අලුත් සාමාජිකාවකුත් එකතු වුණා. ඒ ආධ්‍යා ආයුකි කරුණානායක අපේ දුව. දැන් නම් එයාට මාස හතරයි. ඉතිං දුව වගේම පුතත් එක්ක තමයි කාලය ගත කළේ. 

ඒ වගේම වගා කටයුතුත් කළා. ජීවිතේ ඒ වගේ පොඩි පොඩි අලුත් අත්දැකීම් ලබාගත්තා. මම ඇඟලුම් සම්බන්ධ ව්‍යාපාරයක් කළානේ. ඉතිං කොරෝනා තත්ත්වය නිසා රංගන කටයුතු වගේම ව්‍යාපාර කටයුතුත් කාලයකට නතර කරන්න වුණා. මම සාමාන්‍යයෙන් හැම වෙලාවෙම වැඩ කරන්න කැමැති කෙනෙක්. 

එහෙම වැඩ කරලා ගෙදරටම වෙලා ඉන්න නම් ටිකක් අමාරුයි. හැබැයි මම ගෙදර ඉන්න නිසා ගෙදර අය නම් සතුටින්. දුවගේ හුරතල් වැඩ බල බල තමයි ගොඩක් ජීවත් වුණේ. ළඟදීම සනත් අබේසේකර මහත්මයාගේ ‘පණ්ඩු බබා” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් පටන් ගන්න ඉන්නේ.

කාසි විකාශය වෙන්න වැඩ සූදානම් කළත් එය මඟ නතර වුණා - ගිවන්ත අර්ථසාද්

මම අධ්‍යක්ෂණය කළ ‘කාසි’ නාට්‍ය එක්තරා නාළිකාවකින් විකාශය වෙන්න තිබුණේ. නමුත් පහුගිය දවස්වල එහි කළමනාකාරීත්වය වෙනස් වුණු නිසා දැනට තියෙන කතාබහ අනුව නම් නාට්‍ය විකාශය කරයිද නැද්ද කියන දේ ගැන හරි දැනුවත් කිරීමක් නැහැ. ඉතිං මට ඒකෙන් වුණේ ලොකු අසාධාරණයක්. මම අලුත් නාට්‍ය කිහිපයකටමත් සම්බන්ධ වුණා. 

ඒ නාට්‍ය වුණත් මේ පවතින තත්ත්වය ඇතුළේ කවදා විකාශය වෙයිද දන්නේ නැහැ. ඉතිං පහුගිය කාලේ කොරෝනා තත්ත්වය එක්ක බොහෝ දෙනෙක් අසරණ වුණානේ. ඉතිං ඒ නිසා මම සිංහල සංවිධානයේ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවෝ එක්ක එකතුවෙලා ඒ අය වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කළා.

අවුරුදු තුනක් තිස්සේ ලියපු පොත ලියලා අවසන් කළා - කළණ ගුණසේකර

අපි බලාපොරොත්තු වුණු දෙයකට නෙමෙයිනේ අපිට මුහුණ දෙන්න වුණේ. ඇත්තටම පසුගිය මාර්තු මාසේ සුසිල් ප්‍රනාන්දුගේ චිත්‍රපටයේ රූගත කිරීමකට ඉතාලි යන්න හිටියේ මම සමනලි, වසන්ත පූර්ණවංශ, තිසර තුල්වාන්. නමුත් ඒ වැඩේ ලෝකේ පැවතුණු තත්ත්වය එක්ක කල් දාන්න වුණා. රොහාන් පෙරේරාගේ ‘සිගිරිය’ කියන චිත්‍රපටයේ මට රූගත කිරීම් කරන්න තිබ්බේ තව දවසයි. ඒ තත්ත්වය තියෙද්දී තමයි ඇඳිරි නීතිය එක්ක අපිට ගෙදර ඉන්න සිද්ධ වුණේ. 

මම ඉතිං කහතුඩුවේ අපේ ගෙදර ගිහින් මේ කාලසීමාවම හිටියේ අම්මා එක්ක. බිරිය එයාලගේ ගෙදර ගියා. ලෝකයේම එක එක අර්බුද තිබ්බ කාලෙක ලෙඩක් ඇවිත් ලෝකයම එක තැන නතර කළා වගේ වැඩක් වුණේ. සල්ලි, බලය, ආයුධ තිබ්බ බලවත් රටවල් පවා හොම්බ බිම ඇනගත්තා. 

දේශපාලනය දියවෙලා ගියා. කලා ක්ෂේත්‍රයේ වුණත් ලොකු ලොකු වැඩ සමතලා වුණාම එක එක පුද්ගලයෝ තමන්ගේ පොඩි පොඩි වැඩ පවා එළියට දාන්න ගත්තා සමාජ මාධ්‍යවලින්. ව්‍යායාම කරන, උයන පිහන දේවල් පවා තමන් කළ දේවල් එළියට ගෙනාවා. මාධ්‍ය නාළිකාවලින් කරපු විකාර වැඩ නතර වුණා. ඒවා වෙන විදිහකට හැඩගැහෙන්න ගත්තා. 

මිනිස්සුන්ට දැන් ආයෙත් බිංදුවේ ඉඳන් පටන් ගන්න පුළුවන්. ලෝකය අලුතින් පටන් ගත්තේ නැත්නම් වැඩක් නෑ. මිනිසුන් සහ ස්වභාවදහම අතර තමයි තුන්වන ලෝක යුද්ධය පටන් ගන්නේ. මම හිතන්නේ ඒකෙන් මිනිසුන්ට දිනන්න බෑ. මම ඉතිං ගෙදර හිටපු කාලේ යම් යම් දේවල් හිතන්න ගත්තා. උපුල් ශාන්ත සන්නස්ගල මට පොතක් ලියන්න කියලා තිබ්බා. මම ඒ පොත ලියන්න පටන් අරන් අවුරුදු තුනක් විතර වෙනවා. 

ගෙදරට වුණු මුල් සතියෙම මම කළේ ඒ පොත ලියලා ඉවර කළ එක. ඒකේ නම” ශිඛර නිරුවත් සරාගිනිය’ මිනිහෙක්ගේ පරිකල්පන ආදරයයි, සැබෑ ආදරයයි අතර දෝලනය වන කතාවක් තමයි ඒ නවකතාව තුළ තියෙන්නේ. 

මම ලියන වැඩේ දිගටම කරගෙන යයි. ඒ මම ඒ ගැන දැනුවත් නිසා නෙවෙයි. මම ලියන්නේ මට කියන්න තියෙන දේ පිටකරගන්න එක ක්‍රමවේදයක් ඒක නිසා. ඒ වගේම ශාලික කියලා මගේ යාළුවෙක් සිංදුවක් ලියල දෙන්න කියලා මගෙන් ඉල්ලුවා. ඒකත් ඔහු ගායනා කරලා පහුගිය දවසක එළිදක්වලා තිබුණා.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: