Sunday, August 25, 2019

එජාප ගැටුම ඊයේ අද සහ හෙට.

SHARE
Loading...

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ගැටුම් ඉතිහාසය අද ඊයේ ආරම්භ වුවක් නම් නොවන අතර එය ඊයේට අදට මෙන්ම හෙටටත් පොදුය. සෑම දේශපාලන පක්ෂයකම මත ගැටුම්, නායකත්ව ගැටුම්, කල්ලි අතර ගැටුම් පොදුය. ගමේ මරණාධාර සමිතියේත් ගැටුම් ඇති වන කල රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයේ ගැටුම් ඇති වීම කවර අරුමයක්ද? එදා රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපති භූමිකාව හා දේශපාලන හැසිරීම ජේ. ආර්. ගේ නායකත්ව රටාවට හාත්පසින්ම වෙනස් බව එක්සත් ජාතික පක්ෂය තුළ සිටි සමහර ප‍්‍රබලයෝ වටහා ගත්හ. ඔවුන් එය දුටුවේ ඒකාධිපති රංගනයක් වශයෙනි. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි මේ අතර ප‍්‍රධාන විය. පේ‍්‍රමදාස ජනපති කෙරෙහි ද්වේශයෙන් හා නොසතුටින් සිටි ප‍්‍රබල කණ්ඩායම එකතු වී සකස් කරන ලද දෝෂාභියෝග යෝජනාව 1991 අගෝස්තු 28 වැනිදා එවක කථානායක මොහමඞ් හනීෆා මොහමඞ් මහතාට භාරදුන් අතර මේ නිසාම ලංකා දූපතේ දේශපාලන ස්ථාවරත්වය චංචල වී ගියේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 32(2) අ වගන්තිය ප‍්‍රකාරව ඉදිරිපත් කර තිබුණු දෝෂාභියෝගයෙන් ජනාධිපති පේ‍්‍රමදාස මහතාට එරෙහිව බරපතළ චෝදනා රැසක් ඉදිරිපත් කර තිබිණි. මෙම දෝෂාභියෝග සැලැස්ම ගැන දැනගත් වහාම පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ගත් ප‍්‍රථම පියවර වූයේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අහෝසි කර රැස්වීම් කල් දැමීමයි. රට උඩු යටිකුරුවීමේ පෙරනිමිති පහල වෙද්දී ජනාධිපතිවරයා ගත් සැසිවාරය අහෝසි කිරීමේ පියවර නිසා කථානායකවරයා අතට පත් දෝෂාභියෝග යෝජනාව අහෝසි වී ගියාක් මෙන්ම එහි ඉදිරි කටයුතු තීරණය කිරීම ද අහෝසි විය. මේ දෝෂාභියෝගය යනු නිර්ප‍්‍රභු ජනපතිට එරෙහිව එජාපයේම රදල ප‍්‍රභූන් විසින් ඇතිකළ දේශපාලන කැරැල්ලක් විය. ජනාධිපති පේ‍්‍රමදාස මහතා තමන්ට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝග අකාමකා යටපත් කර දැමීමට සමත් විය. මේ නිසා පේ‍්‍රමදාස රජයේ වැවිලි කර්මාන්ත ඇමැති පදවිය ලද ගාමිණී දිසානායකට කිසිදු ඇමැති පදවියකින් තොරව පසුපෙළ මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට පවා සිදු විය.

 එහෙත් මෙහි අතුරුපලයක් හැටියට ප‍්‍රබල එක්සත් ජාතික පක්ෂය දෙකඩව ගියේය. දහහත් වසරක එජාප පාලනය බිඳ වැටීමේ ආරම්භය මෙම දෝෂාභියෝගය මගින් සටහන් විය. විශාල බහුතර බලයක් නොමැතිව වුවත් 1994 මහ මැතිවරණයේ දී මෙරට ජනතාවගේ අභිමතය වූවේ එක්සත් ජාතික පක්ෂයේ රජයක් නොවන බව පැහැදිලිව දක්නට ලැබුණි. ඒ ඡුන්දයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බලයට පත් වූ අතර එම වසරේ නොවැම්බරයේදී පැවැති ජනාධිපතිවරණයේ දී ඇය ජනාධිපති ධුරයට පත් වූවාය. 

 1994 දී පොදු පෙරමුණ බලය පිහිටවීම නිසා විපක්ෂ නායක පදවිය එක්සත් ජාතික පක්ෂයට හිමි විය. එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායක පොරය ආරම්භ වන්නේ එම විපක්ෂ නායක පදවිය මුල්කර ගෙනය. එම පදවිය සඳහා රනිල් වික‍්‍රමසිංහ සහ ගාමිණී දිසානායක දෙදෙනාම ඉදිරිපත් වූ අතර ගාමිණී ඉන් ජය ගනිමින් විපක්ෂ නායකත්වය හිමි කර ගත්තේය. ජනාධිපතිවරණයේදී පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ද දිනා ගත් ගාමිණී දිසානායක, මැතිවරණ ව්‍යාපාරය සමයේ ඝාතනය කරනු ලැබීමත් සමඟ පක්ෂයේ නායකත්වයට රනිල් වික‍්‍රමසිංහ පත් විය. 2004 අපේ‍්‍රල් මැතිවරණ පරාජයෙන් අනතුරුව එජාප නායක රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයට පළමු අභියෝගය එල්ල වන්නේ කරු ජයසූරියගෙනි. 

 2012 දෙසැම්බර් පළමුවැනිදා සිරිකොත මූලස්ථානයේ පැවැත්වූ එක්සත් ජාතික පක්ෂ ජාතික මහ සමුළුව කලින් හඳුනාගත්, නම් කරනු ලැබූ සහ විශේෂ අවසරය සහිත නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබුවේ නායකත්වය සම්බන්ධයෙන් සජිත් - රනිල් ගැටුම උග‍්‍රව පැවති නිසාය.

 54 ජාතික සම්මේලනය පැවති දිනයේ ‘සිරිකොත‘ පක්ෂ මූලස්ථානය වටකොට පොලිස් විශේෂ කාර්ය බළකාය රඳවා තිබු අතර සහ ජල ප‍්‍රහාරක ලොරි යකඩ වැටවල් හොඳින් දිස් විය. ඒ දර්ශනවලින්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය ලෝකයට ප‍්‍රදර්ශනය විය. එම සම්මේලනයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ විසින් පක්ෂ නායකයාගේ ධුර කාලය වසර හයකින් දීර්ඝ කිරීමේ යෝජනාවක් පක්ෂ සම්මේනලයට ඉදිරිපත් කරන ලද අතර එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඊට කෙළින්ම සිය විරෝධය පළ කළේය. 1994 සිට එජාපයට පැහැදිලි හා ශක්තිමත් ජයග‍්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වූ බව කියා සිටි නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, ඒ නිසා තමාගේ හෘද සාක්ෂියට එකඟව නායකත්වය වසර හයකින් දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධතාවය ප‍්‍රකාශ කළ බව කියා සිටියේය. 2013 දී මාතර නගර සභාව ඉදිරිපිටදී කුරුඳු පොලූ ගැටුමක් ඇති වන්නේ ද සජිත් - රනිල් ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙසය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට එම තනතුරින් ඉවත් වන්නැයි බල කරමින් එම පක්ෂයේම ආධාරකරුවන් පිරිසක් දෙවිනුවර නගරයේ සිට කොළඹ දක්වා ගමන් කළ පා ගමනට ප‍්‍රහාරයක් එල්ල වී තිබුණේ 2013 වසරේ ඔක්තෝම්බර් මස 05 වැනිදාය. එහිදී එජාප පාක්ෂිකයන් දෙපිරිසක් කුරුඳු පොලූවලින් ගුටි බැට හුවමාරු කර ගත් අතර 15 දෙනෙක් පමණ තුවාල ලැබූහ. මෙම ගැටුම අතරතුරදී වෙඩි තැබීමක් ද සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න මහතාට එරෙහිව මාතර අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.

 එදා රනිල් වෙනුවෙන් සජිත් පාර්ශවයට කුරුඳු පොලූවලින් තැලූ කණ්ඩායමට නායකත්වය දුන් මංගල සමරවීර මහතා වර්තමානයේ පවසන්නේ කුමක්ද? ඉදිරි ජනපතිවරණය වෙනුවෙන් සජිත් පේ‍්‍රමදාස මහතා එජාප අපේක්ෂකයා විය යුතු බවය. එසේම අගමැති වික‍්‍රමසිංහගේ පාසල් මිතුරා මෙන්ම දේශපාලන හිතෛෂිවන්තයා වන මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා ද දැන් සජිත් පාර්ශවය ගෙන ඇති බව නොරහසකි. එහෙත් කොළඹ එජාප ප‍්‍රබලයා වන ඇමැති රවි කරුණානායක පවසන්නේ තමා සජිත් පේ‍්‍රමදාසට ජනපති අපේක්ෂකත්වය ලබා දෙනවාට සම්පූර්ණයෙන් විරුද්ධ බවයි. එජාප ජනපති අපේක්ෂකත්වය පිළිබඳ පවතින ගැටුම නිසාම යහපාලන ආණ්ඩුවේ පක්ෂ එක් කර තැනීමට නියමිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම ද දිනෙන් දින කල් යයි. එයට 

 බාලගිරි දෝෂය වැළඳී තිබේ. මේ සන්ධානයට එක්වීමට බලාපොරොත්ත ුවන එජාප නොවන සෙසු පක්ෂ නායකයන් දෙදෙනෙකු ද ජනපති සිහිනයේ පාවෙමින් සිටිති. නමුත් ඒවා සිහින පමණකි. ජනපති අපේක්ෂකත්වය දිනා ගැනීම වෙනුවෙන් බදුල්ල විල්ස් උද්‍යානයේදී පැවති සජිත් පාර්ශවේ රැලිය, අගමැති රනිල් විරෝධී පුද්ගලික රූපවාහිනි චැනලය මගින් සජීවීව විකාශනය කරනු දක්නට ලැබිණි.එජාප අර්බුදය දෙකොන විලක්කුවක් මෙනි. සරත් ෆොන්සේකා මහතා පේ‍්‍රමදාස පුත‍්‍රයා ඉලක්ක කරගෙන සිදුකළ ප‍්‍රහාරයද අතිශය දරුණුය. එයද එජාප පාර්ශව දෙක අතර ගැටුමේම ප‍්‍රතිපලයකි. මේ ෆොන්සේකා මහතා සිදුකළ කතාවෙන් කොටසකි. කලූ ටී ෂර්ට් එකයි - ඩෙනිමයි ඇඳගෙන අඳින පළඳින හැටියෙන් විනය පේනවා. සියලූ දෙනාගේ පඩිය 50,000ක් කරනවලූ. හොර සල්ලි අච්චු ගහන්නද? පෝසතුන්ගේ සල්ලි දුප්පතුන්ට ලබාදෙනවා. සරදියෙල්ද ඉන්නේ? තාත්තා කරපු තැන සිට කරගෙන යනවලූ. තාත්තා ත‍්‍රස්තවාදීන්ට අවි ආයුධ දුන්නා. පොලිස් නිලධාරින් 600කට අණ දුන්නා. ත‍්‍රස්තවාදීන්ට යටත් වෙන්න කියලා. අනිත් රැස්වීමේ කරුණා අම්මාන් හිටියා. එයා 600 දෙනාම ඝාතනය කළා. තාත්තා කරපු දේ කරන එක භයානකයි.
-දිවයින පුවත්පත.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: