Sunday, August 25, 2019

ගින්නෙන් දැවෙන ලෝකයේ පෙනහල්ල

SHARE
Loading...

ලොව පුරා ගෝලීය උණුසුම හේතුවෙන් හට ගෙන ඇති දේශගුණික විපර්යාසයන් පිළිබඳව සමාජ කතිකාවක් නිර්මාණය වී පැවතිය දී ලොව ප‍්‍රකට දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරය ගිනි ගෙන එහි දුමාරය බ‍්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ අග නගරය ඇතුළු නගර කිහිපයක් දක්වා විහිදුනු පුවත් මෙම දිනවල බටහිර මාධ්‍යයන්හි ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. විද්‍යාඥයින්ට අනුව ඇමේසන් වනාන්තරයේ මහා පරිමාණයෙන් හට ගෙන ඇති ගින්න ගෝලීය උණුසුමට සම්බන්ධතාවයක් නොමැති අතර එයට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ගොවීන් හා මහා පරිමාණයෙන් සතුන් ඇති කරන්නන් විසින් වනාන්තරයට ගිනි තැබීම බව බ‍්‍රසීලයේ සා ඕ පාලෝ සරසවියේ වැඩිදුර අධ්‍යයන කටයුතු පිළිබඳ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන කාලෝස් නොබ්රේ පවසයි.

සම්ප‍්‍රදායික ගොවි ක‍්‍රම සහ වර්තමාන දේශපාලකයින්ගේ වැරදි පිළිවෙත් මෙම තත්ත්වයට ඍජුවම බලපා ඇති බව නොබ්රේ අවධාරණය කර සිටී. මෙය ඇමේසන් වනාන්තරයේ අනාගතයට දරුණු ලෙස බලපාන තත්ත්වයක් බවද ඔහු කියා තිබේ.

බ‍්‍රසීලය ඇතුළු දකුණු ඇමරිකානු රටවල් කිහිපයක් හරහා පැතිර පවතින ඇමේසන් වනාන්තරයෙන් සියයට 20 ත් 30 ත් අතර ප‍්‍රතිශතයක් මිනිසාගේ අනිසි ක‍්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය මාස 12 තුළදී ගින්නෙන් විනාශ වී ගොස් ඇති බව අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් ජර්මනිය හා නොර්වේ යන රටවල් බ‍්‍රසීලයට ලබා දෙන ඇමේසන් වනාන්තරය සුරක්ෂිත කිරීම සඳහා වන සහනාධාරය වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඇමේසන් වනාන්තරය ලෝකයාට වැදගත් වන්නේ ඇයි?

ඇමේසන් වනාන්තරය යනු බ‍්‍රසීලය, පේරු, කොලොම්බියාව, වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලිවියාව, ගයනාව, සුරිනාමය හා ප‍්‍රංශ ගයනාව යන දකුණු ඇමරිකානු රටවල් නවය හරහා වර්ග කිලෝ මීටර් 55 ලක්ෂයක පමණ භුමි භාගයක පැතිර පවතින ලොව ජෛව විවිධත්වය ආරක්ෂා කරන, වායු දූෂණය අවම කරනු ලබන හා කාබන් ඩයොක්සයිඞ් වායුව ගබඩා කර තබා ගන්නා ලෝක ගෝලයේ පෙනහැල්ල සේ සැලකෙන ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍යම වූ තෙත් කලාපීය වනාන්තරයකි. ඇමේසන් වනාන්තරයේ පවතින විවිධ වූ ගස් හා පැල මිනිසාට අහිතකර කාබන් මොනොක්සයිඞ් වායුව නිපදවීමට හේතු වන කාබන් ඩයොක්සයිඞ් වායුව අවශෝෂණය කර ගනිමින් ඒවායේ අහිතකර භාවය නැති කර මිනිසාට ආශ්වාස කිරීමට අවශ්‍ය පිරිසිදු ඔක්සිජන් වායුව, වායුගෝලයට මුදා හැරීම සිදු කරයි. මෙසේ ඔක්සිජන් වායුගෝලයට මුදා හරිනුයේ එම ගස් හා පැලවල වර්ධනයට අවශ්‍ය කාබන් වායුව ගස්කොළන්වල ගබඩා කර තබා ගනිමිනි.

ඇමේසන් වනාන්තරය කෙතරම් විශාල ද යත් එය රටක් වූයේ නම් ලොව නව වැනි විශාලතම රට එය වන බව විද්වතුන්ගේ මතය වී තිබේ. ලොවට අවශ්‍ය සමස්ත ඔක්සිජන් සැපයුමෙන් සියයට 20කට වඩා වැඩි ප‍්‍රමාණයක් නිපදවා සපයනුයේ ඇමේසන් වනාන්තරයේ පවතින ගස්කොළන් හරහාය. ඇමේසන් වනාන්තරය තවත් අතකින් වැදගත් වනුයේ එහි ලොව පවතින ගස්කොළන්වලින් හරි අඩකට වැඩි ප‍්‍රමාණයක් පවතිනවාක් මෙන්ම, සතුන් හා කෘමීන්ගෙන් හරි අඩකට වැඩි ප‍්‍රමාණයක් එහි ජීවත් වීම නිසාය. සංඛ්‍යා ලේඛනවලට අනුව වර්ග මිලියන 10කට අයත් ගස්කොළන් ඇමේසන් වනාන්තරය සතුව පවතී. එමෙන්ම ලොව පවතින නැවුම් ජලයෙන් පහෙන් එකක්ම මෙම වනාන්තරය ආශ‍්‍රිතව පවතී.

මේ සා වැදගත් වූ වනාන්තරයක් මිනිසාගේ වරදින් විනාශ වෙමින් පැවතියදී බ‍්‍රසීලයේ ජනාධිපති ජයිර් බොල්සොනාරෝ පවසනුයේ වනාන්තරය ගිනි ගැනීම පසුපස සිටිනුයේ රාජ්‍ය නොවන සංවිධාන බවයි. එම සංවිධානවලට ලබා දෙන අරමුදල් බ‍්‍රසීල රජය විසින් කපා දැමීම නිසා එයට එරෙහිව ඔවුන් ක‍්‍රියාත්මක වී ඇති බවට බ‍්‍රසීල ජනධිපතිවරයා චෝදනා කර තිබේ.

මේ අතර ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ඇමේසන් වනාන්තරය ගිනි ගැනීම හඳුන්වා දී ඇත්තේ ජාත්‍යන්තර අර්බුදයක් ලෙසයි. ‘අපේ ගෙදර ගිනි ගන්නවා. මේ පිළිබඳව ළඟදී පැවැත්වෙන ජී -7 කාර්මික රටවල සමුළුවේදී මෙම තත්ත්වය න්‍යාය පත‍්‍රයේ ඉහලින්ම සටහන් කළ යුතුයි’ ඔහු පවසා තිබේ.

එහෙත් ප‍්‍රංශ ජනාධිපතිවරයාගේ අදහසට ප‍්‍රතිචාර දක්වන බ‍්‍රසීල ජනාධිපතිවරයා කියා ඇත්තේ බ‍්‍රසීලයට හා ඇමේසන් වනාන්තරය පැතිර පවතින රටවලට ගැටලූවක්ව පවතින ඇමේසන් වනාන්තරයේ ගින්න සිය පෞද්ගලික දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා ප‍්‍රංශ ජනාධිපතිවරයා විසින් යොදා ගෙන ඇති බවකි. 

කෙසේ වුවද මෙම වසර තුළ මේ දක්වා බ‍්‍රසීලය හා පේරු රාජ්‍යය හරහා වැඩි වශයෙන් පැතිර පවතින ඇමේසන් වනාන්තරය තුළ ගිනි ගැනීම් 72,843ක් සිදුව ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් එය ඉදිරියේදී ගෝලීය උණුසුම කෙරෙහි ද අහිතකර ලෙස බලපානු ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
-දිවයින පුවත්පත.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: