Monday, December 17, 2018

ශ‍්‍රීලනිප 10 ක් ආණ්ඩුවට නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද හෝ හෙට

SHARE

Loading...

දෙමළ සන්ධානයේ සහය නොමැතිව ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්‌සත් ජාතික පක්‍ෂ පෙරමුණට සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන් දසදෙනකු සූදානමින් සිටින බව හමිබන්තොට දිස්ත්‍රික් හිටපු ශ්‍රිලනිප ඇමතිවරයෙක්  ඊයේ (17 දා) පැවසීය.
තමන් කිසි විටෙකවත් එක්‌සත් ජාතික පක්‍ෂයට එකතු නොවන බව සඳහන් කළ එම මන්ත්‍රීවරයා ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂ පෙරමුණට සහය ලබා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කණ්‌ඩායමක්‌ ලෙස යෑයිද කියා සිටියේය.
යහපාලන ආණ්‌ඩුව බිඳ දමා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පොදු ජන පෙරමුණට දේශපාලන වශයෙන් පාවාදී දුර්වල කළ බවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය යළි ශක්‌තිමත් කිරීමට නම් පොදු ජන පෙරමුණෙන් ඉවත්ව ස්‌වාධීනව කටයුතු කළ යුතු බව ද එම මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
පක්‍ෂයක්‌ ලෙස ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කැමැති කරවා ගැනීමට දැන් සාකච්ඡා කරන බවද හෙතෙම පැවසීය.
මේ අතර නව රජයේ ඇමැති මණ්‌ඩලය අද (18 දා) පස්‌වරුවේ හෝ හෙට (19 දා) ස්‌ථිර වශයෙන්ම දිවුරුම් දීමට නියමිතය.
ඇමැති මණ්‌ඩලය පත් කිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සහ පක්‍ෂ නායකයන්ගේ ප්‍රධානත්යෙන් සාකච්ඡා කිහිපයක්‌ ඊයේ (17 දා) පැවැත්වීය.
නව කැබිනට්‌ මණ්‌ඩලය තිස්‌ දෙනකුගෙන් සමන්විත වන අතර එම අමාත්‍යවරුන්ගේ නාමලේඛනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුමැතිය සඳහා අද පෙරවරුවේ යෑවීමට නියමිතව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මේ අතර නව රජයට සහාය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කණ්‌ඩායමක්‌ එක්‌වීමට නියමිතව සිටින අතර එසේ එක්‌වීමට නියමිත මන්ත්‍රීවරුන් සමඟ රජයේ ජ්‍යෙෂ්ඨයන් ඊයේ සාකච්ඡා වට කිහිපයක්‌ පැවැත්විණි.
මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රි වනතුරුත් එකඟතාවකට පැමිණ නොතිබූ බව ද එක්‌සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පැවසීය.
එසේ එක්‌වීමට සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන්ට ලබාදීමට නියමිත ඇමැති නියෝජ්‍ය ඇමැති සහ රාජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් ද සාකච්ඡා වට කිහිපයක්‌ පැවැත්විණි.
මෙසේ එක්‌වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් විවිධ ඇමැති ධුර, නියෝජ්‍ය ඇමැති ධුර සහ රාජ්‍ය ඇමැති ධුර ඉල්ලා සිටින අතර ඒ සම්බන්ධයෙන් එකඟතාවට එළඹීමට ඊයේ රාත්‍රිය වනතුරුත් රජයට නොහැකි වී ඇත.
මේ අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් රජයට එක්‌වීමට සූදානමින් සිටින මන්ත්‍රීවරුන් අතර සිටින දූෂණ චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරුන් සම්බන්ධ කර නොගන්නා ලෙස එක්‌සත් ජාතික පක්‍ෂයේ බහුතරයක්‌ මන්ත්‍රීවරුන් පක්‍ෂ නායකත්වයට ප්‍රකාශ කර ඇත.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: