Tuesday, November 27, 2018

හිටපු NSB සභාපතිට වැලිකඩ පාර කියූ ‘ද ෆිනෑන්ස්‘ කොටස් මගඩියේ සුලමුල

SHARE
ඊයේ (26) දිනයේ දී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා හට කොළඹ පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද වසර 5 කට අත්හිටවූ වසර 5 ක ලිහිල් සිරදඬුවමක් නියම කරනු ලැබීය. ඒ 2012 වසරේ දී ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ‘ද ෆිනෑන්ස්‘ සමාගමේ කොටස් මිල දී ගැනීම සම්බන්ධයෙන් ගොනු කර තිබුණු නඩුවකට අදාළවය. මෙම නඩුවට පසුබිම වූ කරුණු කාරණා සැකෙවින් මෙසේය.
එය 2012 අප්‍රේල් 27 වැනිදා ය. සිකුරාදා දිනයකි. සුපුරුදු පරිදි කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු දිනයේ අවසාන භාගය කරා පැමිණෙමින් තිබිණි. ඒ වන විටත් දිනයේ ගනුදෙනු හමාර වීමට තිබුණේ මිනිත්තු කිහිපයකි.
ඒ වන විට ලැයිස්තුගත සමාගමක් වූ ‘ද ෆිනෑන්ස්‘ පීඑල්සී හි කොටසක් ගනුදෙනු වූයේ රු. 30.00 කට ආසන්න මිලකටය. හදිසියේම ගනුදෙනු පුවරුවේ යම් වෙනසක් සිදුවෙමින් පවතින බව එ දෙස බලා සිටියවුන් හට පෙනී ගියේය. එහිදී රු. 30 ක පමණ මිලකට ගනුදෙනු වෙමින් පැවති ‘ද ෆිනෑන්ස්‘ කොටසක මිල ක්ෂණයෙන් රුපියල් 50 ක් දක්වා ඉහළ ගොස් සමාගමේ මුල් පෙළේ කොටස්කරුවන් කිහිප දෙනෙකු සතු කොටස් හිමිකාරීත්වය හුවමාරු වූයේ ඇසිපිය හෙලන පමාවකිනි.
මෙම කොටස් ගනුදෙනුවේ කොටස් විකිණීම හා මිල දී ගැනීම යන දෙපාර්ශවය වෙනුවෙන්ම තැරැව්කාර පහසුකම් සපයන ලද්දේ තැප්‍රොබේන් කොටස් තැරැව්කාර සමාගමයි. දිනයේ කොටස් ගනුදෙනු අවසන් වීමෙන් අනතුරුව තැප්‍රොබේන් කොටස් තැරැව්කාර සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කළේය. කතාව ආරම්භ වන්නේ එතැනිනි. එහි සඳහන් වූයේ තමන්ගේ සේවාදායකයෙකු වන ‘ජාතික ඉතිරිකිරීමේ බැංකුව‘ විසින් ‘ද ෆිනෑන්ස්‘ සමාගමේ කොටස් අයිතියෙන් 13.02% ක් මිල දී ගත් බවයි. ඒ සඳහා එක් කොටසක් සඳහා ගෙවන ලද සාමාන්‍ය මිල ලෙසින් සටහන්ව තිබුණේ රුපියල් 49.74 කි. මිල දී ගෙන තිබුණු සම්පූර්ණ කොටස් ප්‍රමාණය 7,863,362 ක් විය. සම්පූර්ණ ආයෝජිත මුදල රුපියල් මිලියන 391.12 කි.
මෙහිදී පැන නැඟුනු ගැටළුව නම් ජාතික ඉතිරිකිරීමේ බැංකුව වැනි රජයේ බැංකුවක් ‘ද ෆිනෑන්ස්‘ සමාගම වැනි කඩා වැටෙමින් පවතින සමාගමක කොටස් මිල දී ගත්තේ කුමන අරමුණක් වෙනුවෙන් ද යන්නයි. 2012 මාර්තු 31 දින වන විට ‘ද ෆිනෑනස්‘ සමාගමේ මූල්‍ය ප්‍රකාශවලට අනුව එහි එක් කොටසක් වෙනුවෙන් පැවති ශුද්ධ වත්කම්වල වටිනාකම සෘණ රුපියල් 24.90 කි. එනම් එහි කොටස් හිමිකරුවන්ට හිමි වන්නේ ශුද්ධ වත්කම් නොව ශුද්ධ වගකීම් ය.
අනෙක් අතට 2012 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයේ දී ‘ද ෆිනෑන්ස‘ සමාගම වාර්තා කර තිබුණු බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය රුපියල් මිලියන 196.75 ක් විය. ඒ අනුව සමාගමේ එක් කොටසක් වෙනුවෙන් පැවති අලාභය රු. 1.23 කි. මීට අමතරව ‘ද ෆිනෑන්ස්‘ සමාගම 2011 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් ද රුපියල් මිලියන 3,830 ක දැවැන්ත අලාභයක් වාර්තා කර තිබිණි.
මෙසේ දැවැන්ත අලාභදායීත්වයක් පෙන්නුම් කළ සමාගමක කොටස් මිල දී ගැනීම වෙනුවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව වැනි මහජන තැන්පතුවලින් නඩත්තු වන බැංකු සමාගමක් කටයුතු කිරීම දැඩි ආන්දෝලනයක් ඇති කළේය.
මෙම ගනුදෙනුවත් සමඟම කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බලපානු ලබන තාක්ෂණික ගැටළු කිහිපයක් ද නිර්මාණය වූ අතර එය සමස්ත කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය කෙරෙහි ද අයහපත් ආකාරයෙන් බලපෑවේය. ඒ මෙසේය.
සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවක් සිදු වී, ගනුදෙනුව සිදු වූ දිනයට අමතරව තවත් ‘ගනුදෙනු දින‘ 3 ක් (T+3) ඇතුළත එම ගනුදෙනුවේ පියවීම් සිදුකළ යුතුය. කොටස් මිල දී ගත් ගනුදෙනුකරුවන් සිය ගෙවීම් එහිදී පියවිය යුතු අතර කොටස් විකුණූ ගනුදෙනුකරුවන් හට ගනුදෙනුව සිදු කළ දිනයේ සිට ගනුදෙනු දින 3 ක් ගත වීමෙන් අනතුරුව එම මුදල් ලැබෙනු ඇත.
මෙම ගනුදෙනුව සිදු වූ 2012 අප්‍රේල් 27 වැනිදා සිකුරාදා දිනයකි. ඉන්පසු එළඹි පළමු ‘ගනුදෙනු දිනය‘ වූයේ අප්‍රේල් 30 වැනි සඳුදා දිනයයි. පසු දින එනම් මැයි 01 දා රජයේ නිවාඩු දිනයකි. ඒ අනුව මෙම ගනුදෙනුවේ ගෙවීම් සහ ලැබීම් පියවිය යුතු T+3 දිනය වූයේ 2012 මැයි 03 වැනි බ්‍රහස්පතින්දා දිනයයි. ඒ වන විට ගනුදෙනුව සිදු වී ගත වී තිබුණු මුළු දින ගණන 6කි. එහිදී බැංකු සේවක සංගම් ඇතුළු සෑම පාර්ශවයකින්ම පාහේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විරෝධය එල්ල වෙමින් පැවතිණි. මේ හේතුවෙන් ගනුදෙනුවේ පියවීම් සිදුකිරීම අත්හිටුවීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට සිදුවිය.
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පියවීම් සිදුවන්නේ භාරකාරීත්ව බැංකු (Custodian Banking) ක්‍රමයක් මගිනි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙම ගනුදෙනුවේ ගෙවීම් පියවීම අත්හිටුවූව ද කොටස් අලෙවි කළ පාර්ශව වෙනුවෙන් මුදල් ගෙවීමට තැරැව්කාර සමාගමේ භාරකාරීත්ව බැංකුව වන සම්පත් බැංකුව, ඒ වින කටයුතු කර තිබිණි. එහිදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව, කොටස් මිල දී ගැනීම් වෙනුවෙන් අදාළ රුපියල් මිලියන 391 ගෙවිය යුතුව තිබුණේ සම්පත් බැංකුව වෙතය. නමුත් ඔවුන් ගෙවීම් අත්හිටුවීම හේතුවෙන් සම්පත් බැංකුව ද මෙහිදී පත්වූයේ දැඩි අසීරුතාවයකටය. එය වෙළෙඳපොළ තුළ අනවශ්‍ය ද්‍රවශීලතා ගැටළුවක් නිර්මාණය කරන්නට තුඩුදුන් කරුණකි.
උද්ගත වූ වාතාවරණය තුළ මෙම ගනුදෙනුව අවලංගු කිරීමට සිදුවන පසුබිමක් ගොඩනැගිනි. බැංකු සේවක සංගම් ඇතුළු පාර්ශවවලින් එල්ල වූ දැඩි විරෝධතාවය හමුවේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ එවකට සභාපතිවරයා වූ ප්‍රදීප් කාරියවසම් මහතාට තම තනතුර හැර යාම හැර වෙනත් විකල්පයක් නොවීය. ප්‍රදීප් කාරියවසම් යනු හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියායි.
මේ අනුව අදාළ ගනුදෙනුව කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතියට පරිභාහිරව අවලංගු කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් 2012 මැයි 17 දින අනුමැතිය ලබා දුන්නේය. සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් ඊට අදාළව නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ. කෙසේවෙතත් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා වූ ප්‍රදීප් කාරියවසම් මහතාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනුවිය. ඊයේ (26) දිනයේ දී ප්‍රකාශයට පත් වූයේ එම තීන්දුවයි. ඒ අනුව රජයට අලාභයක් සිදුවන බව දැන දැනම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් යොදවා, නොවටිනා මිලකට ‘ද ෆිනෑන්ස්‘ සමාගමේ කොටස් 7,863,361 ක් මිලදී ගැනීම රාජ්‍ය සේවකයෙකු ලෙස, එනම් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස සේවයේ යෙදී සිටිය දී රජයට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩු කිරීමේ චේතනාවෙන් කටයුතු කිරීම ඇතුලු චෝදනා 4 කට සැකකාර ප්‍රදීප් කාරියවසම් මහතාව වැරදිකරු කරනු ලැබූ බව එම නඩු තීන්දුවේ සටහන් විය. ඒ අනුව වසර 5 කට අත්හිටවූ වසර 5 ක ලිහිල් සිරදඬුවමක් ප්‍රදීප් කාරියවසම් මහතාට නියම විය. මීට අමතරව මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද හිටපු ජාතික ඉතිරිකිරීමේ බැංකු සභාපතිවරයා වෙත නියම කර තිබේ. මෙම දඩය නොගෙවන්නේ නම් වසර 2 ක ලිහිල් සිරදඬුවම් ලබා දීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
2012 අප්‍රේල් 27 දින සිදුවූ ඉහත කී ගනුදෙනුව අවලංගු කිරීමට අදාළව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමිය කොමිසම විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.
ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අධිකරණයට පැමිණි අවස්ථාවයි.

Transfer of The Finance Company PLC shares purchased by the National Savings Bank through the Colombo Stock Exchange
Taprobane Securities (Pvt) Ltd (TSL) and the National Savings Bank (NSB) by letters dated 11th May 2012 made an application to the Securities and Exchange Commission of Sri Lanka (SEC) seeking prior approval under Section 28 (1) of the SEC Act to transfer The Finance Company PLC (TFC) shares purchased by NSB on 27th April 2012 on the Colombo Stock Exchange (CSE) to persons identified by TSL outside the Trading Floor of the CSE.
TSL in their application undertook to pay Sampath Bank PLC the consideration due on this transaction including the interest due thereon in settlement of the monies due to Sampath Bank for the settlement services rendered by Sampath Bank on the share purchases done by NSB of TFC on the Trading Floor of the CSE on 27th April 2012.
NSB in their application also agreed to transfer TFC shares purchased on 27th April 2012 in its entirety to the persons identified by TSL outside the Trading Floor of the CSE. The NSB agreed to allow TSL to pay Sampath Bank the consideration sum due on this share transfer in satisfaction of the amounts due to Sampath Bank for the settlement services rendered on the share purchases transacted by them on the CSE on 27th April 2012.
Sampath Bank too intimated to SEC that the bank will discharge NSB and all parties connected with the impugned transaction, if TSL as undertaken by its letter pays Sampath Bank all sums due to them including interest/levies due thereon.
In terms of Section 28 (1), the SEC has the discretionary power to approve transfers outside the trading procedure of the CSE.
In this backdrop the SEC has granted approval to allow NSB to transfer TFC shares purchased on 27th April 2012 in its entirety to the persons identified by TSL outside the Trading Floor of the CSE. This approval has been granted under exceptional circumstances for the smooth functioning and the system stability of the payment and settlement cycle of the Capital Market of Sri Lanka. It is stressed that the SEC will not consider this instance of granting approval to conduct a trade of this nature off the Floor of the CSE as creating a precedence.
The SEC is separately investigating the above mentioned transaction and the parties involved in it. Firm action will be taken against all those who are found to have violated the SEC Act.
The SEC is currently studying this entire issue and expects to take a series of appropriate measures, rule and procedure changes to prevent such incidents in the future. The SEC will also intensify its efforts in implementing the Central Counter Party (CCP) for the CSE which will be the final solution to address settlement failure risk.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: