Tuesday, November 27, 2018

‘ද ෆිනෑන්ස්‘ කොටස් ගනුදෙනුවට NSB හිටපු සභාපති වැරදිකරු වෙයි

SHARE
ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ ‘ද ෆිනෑන්ස්‘ සමාගමේ කොටස් මිල දී ගැනීමේ ආන්දෝලනාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා හට කොළඹ පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද වසර 5 කට අත්හිටවූ වසර 5 ක ලිහිල් සිරදඬුවමක් නියම කරන ලදී.

මීට අමතරව මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද හිටපු ජාතික ඉතිරිකිරීමේ බැංකු සභාපතිවරයා වෙත නියම කර තිබේ. මෙම දඩය නොගෙවන්නේ නම් වසර 2 ක ලිහිල් සිරදඬුවම් ලබා දීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

රජයට අලාභයක් සිදුවන බව දැන දැනම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් යොදවා, නොවටිනා මිලකට ‘ද ෆිනෑන්ස්‘ සමාගමේ කොටස් 7,863,361 ක් මිලදී ගැනීම රාජ්‍ය සේවකයෙකු ලෙස, එනම් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස සේවයේ යෙදී සිටිය දී රජයට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩු කිරීමේ චේතනාවෙන් කටයුතු කිරීම ඇතුලු චෝදනා 4 කට සැකකාර ප්‍රදීප් කාරියවසම් මහතාව වැරදිකරු කරන ලදී.

ආන්දෝලනාත්මක ‘ද ෆිනෑනස් - NSB‘ ගනුදෙනුව මෙරට කොටස් වෙළෙඳපොළට ආකාර කිහිපයකින් බලපාන ලද්දකි.

2012 අප්‍රේල් 27 වන සිකුරාදා දින දෛනික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී මෙම ගනුදෙනුව සිදුවිය. එවිට ‘ද ෆිනෑනස්‘ සමාගමේ කොටසක වෙළෙඳපොළ මිල වූයේ රු. 30.00 කි. ක්ෂණිකව ‘ද ෆිනෑනස්‘ කොටසක මිල රු. 50.00 දක්වා ඉහළ දමා මෙම ගනුදෙනුව සිදුකරන ලදී.

ඒ වන විටත් ‘ද ෆිනෑන්ස්‘ සමාගම පැවතියේ දැඩි අලාභ ලබන මට්ටමකය. බංකොලොත්භාවයට පත්වෙමින් සිටි ‘ද ෆිනැන්ස්‘ සමාගමේ කොටස් මිලියන 7.8ක් වෙලඳපළ වටිනාකම ඉක්මවා ගිය මිලකට ගැනීම නිසා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇතිවී තිබෙන අර්බුදයේ වගකීම භාරගෙන ඉල්ලා අස්වීමට එහි සභාපතිවරයා වූ ප්‍රදීප් කාරියවසම් මහතා එහිදී තීරණය කළේය.

මෙම ගනුදෙනුවෙන් පසු කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නීතිරීති ගණනාවක් යාවත්කාලීන වූ අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුව වැනි මහජන අරමුදල් කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීමේ දී අනුගමනය කළ යුතු නීතිරීති ද දැඩි විය. එසේම ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හිමිව තිබූ භාරකාරීත්ව බැංකු (Custodian bank) තත්ත්වය ද අවලංගු කෙරිණි.

කෙසේ වෙතත් මෙම ගනුදෙනුව සිදු කෙරී දින කිහිපයකට පසු අදාළ ගනුදෙනුව අවලංගු කිරීමට නියාමකයින් විසින් පියවර ගනු ලැබීය.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: