Monday, March 25, 2019

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව හොර ගුහාවක්,පක්‍ෂ - විපක්‍ෂ මන්තී‍්‍රවරු මැතිසබයේදී දෙහි කපති.

SHARE
Loading...

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව හොර ගුහාවක් බවද ශ‍්‍රී ලංකාවේ දූෂිතම ආයතනය බවට එය පත්ව ඇතැයිද පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී චෝදනා කළහ.
මෙම දෙපාර්තමේන්තුව වෙත එල්ල වන චෝදනා සම්බන්ධව අවධානය යොමුකර විශේෂ පරීක්‍ෂණයක් ඉතා කඩිනමින් පවත්වන ලෙසද මෙම මන්ත‍්‍රීවරු ප‍්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියහ.
මුදල් නොමැතිව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කිසිදු වැඩක් කරගත නොහැකි බව කී කුමාර වෙල්ගම මහතා වසර විස්සක සිට වාහනවලට අංක තහඩු ලබා දෙන්නේ එකම සමාගමක් විසින් බව ද එම තත්ත්වය දුම් පරීක්‍ෂාවේ ද ඇතැයි කීය. මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ හොරකම් වංචා විශාල ලෙස සිදුවන බවත් මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් කුමාර වෙල්ගම මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

අය වැය කාරක සභා විවාදය යටතේ ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ අදහස් දක්වමින් මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක්ම මේ බව පැවසූහ.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා හිටපු ප‍්‍රවාහන ඇමැති නිමල් සිරිපාල මහතාගේ නම විකුණමින් මුදල් ගසා කන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

‘‘ලංකාවේ දූෂිතම ආයතනය මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව. මෙතැන වෙන්නේ ලැජ්ජ නැති හොරකම්. පොඩි මිනිස්සුන්ගෙන් රුපියල් 1000, 2000 වගේ ගණනුත් හොරකම් කරනවා.

මෙට්‍රෝපොලිටන් ආයතනය සමග රියැදුරු බලපත‍්‍රය මුද්‍රණය කිරීමේ ක‍්‍රියාවලියේ නිරතව සිටිනවා. වසර 07 කට මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ. වසර 07 න් පසුව සියලූම දේපොළ රජයට පැවරිය යුතුයි කියා එකඟ වී තිබෙනවා. නමුත් මේ වන විට වසර 10 ක් ගතව ඇතත් කිසිම විදිහකින් මේ දේවල් රජයට පවරලා නැහැ. එහෙම නොකරන්නේ ලොකු කොමිස් මුදලක් ආයතන ප‍්‍රධානියාගේ සාක්කුවට යන නිසා කියලා චෝදනා එල්ල වෙනවා. වාහන අංක තහඩු පිළිබඳවත් දූෂණයක් සිදුවෙනවා.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම පරීක්ෂණයකට සහාය දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අජිත් අලහකෝන්, අකිත පෙරේරා
divaina



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: