Wednesday, November 20, 2019

නිහාල් සීයා කෙනෙක් වෙයි - ජීවත් වෙන්න තවමත් සල්ලි ලැබෙනවා

SHARE

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මේ දවස්වල ඉන්නේ ලොකු සතුටකින්. මේ සතුටට හේතු කාරණා වුණු සිදුවීම් කිහිපයක්ම තිබෙනවා. 


ඔබ සීයා කෙනෙක් වුණා කියලා දැනගන්න ලැබුණා?


ඔව්. මගේ පුතා තරංග තාත්තා කෙනෙක් වුණා. ඇත්තටම අපේ ගෙදර හැමෝටම ඒක ලොකු සතුටක්. මටත් ඒ සතුට උපරිමයෙන්ම තිබෙනවා. 


අලුත ගෙදරට ආපු පැටියා ගැන තව විස්තර ටිකක් කියන්න?


එයා කයිලි අමේලියා. දියණියක්. ඇය දැන් ගෙදර හැමෝගේම අවධානය දිනාගෙන ඉන්නේ. ඇත්තටම ඇගේ පැමිණීමත් සමඟ අපේ ගෙදර පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. 


ඔබට ඉන්නේ එකම පුතෙක්. ගෙදරට ආපු ලේලිය නිසා ඔබේ ගෙදර අඩුව පිරුණා කියලා ඔබ කලින් සඳහන් කර තිබුණා. දැන් තවත් ගැහැනු දරුවෙක්.. මේ සතුට ගැන තවදුරටත් කිව්වොත්?


ඇත්ත. මම ගැහැනු දරුවන්ට කැමැතියි. මොකද මට දුවෙක් නැති නිසා. ලේලිය දියණියක් හැටියට මම පිළිගත්තා. දැන් ඒ සතුට දෙගුණ තෙගුණ වෙලා. ඒ මිනිපිරියගේ පැමිණීමෙන්. ඉතින් වෙලාවකට හිතෙනවා දැන් සියල්ල සම්පූර්ණයි කියලා. හිතේ තියෙන සතුට වචනවලින් කියන්න බැහැ. මමත් ඉතින් ඇයව ළඟට අරන් ඒ සතුට විඳින්න හුඟාක් සතුටුයි. ඉඩ ලැබෙන වෙලාවට එහෙම කරනවා. 


මේ ආරංචිය ලැබුණු මොහොත ඔබට මතකද?


ඔව්. ඒ වෙලාවේ මම හිටියේ මීගහවෙල සුමන ශාන්ත හාමුදුරුවෝ සංවිධානය කරන ගවයන්ට අභය දානය ලබාදෙන පින්කම සම්බන්ධ සාකච්ඡාවක. ඒ සාකච්ඡාව සාර්ථකව නිම කරලා පන්සලෙන් එළියට එනකොට මගේ තරංග පුතා කතා කරලා මේ පණිවුඩය දුන්නා. තාත්තේ දුවෙක් ලැබුණා කිව්වා. 

ඇත්තටම ඒ මොහොතේ මගේ හිතට ආවේ පුදුමාකාර හැඟීමක්. මම මැරෙන්න ඉන්න ගවයන්ව බේරගන්න පින්කමට සම්බන්ධ වෙලා එළියට එද්දී නීරෝගී දරුවකුගේ උපත අහන්න ලැබෙනවා. ඒක කොයි තරම් සතුටක්ද?

අපි මොනවා හරි හොඳ දෙයක් කරනවා නම් එහි සතුට අපට අහන්න ලැබෙනවා. නරකක් කළත් එහෙමයි. 

මම හොඳක් කරලා එළියට එද්දීම හොඳ ආරංචියක් අහන්න ලැබුණා. 


ඔබ සන්දර්ශන වේදිකාවෙත් තවම කාර්ය බහුලයි.?


ඔව්. මට සන්දර්ශන අඩු වී නැහැ. ජීවත් වෙන්න තවමත් සල්ලි ලැබෙනවා. ආර්ථිකය හොඳ වෙනවා. සිතුවිලි හොඳ වෙද්දී ඒවායින් ලැබෙන දේත් යහපත්. 


මෑතකදී ඔබ වෙනුවෙන් අපූරු සංගීතමය විචාර සන්ධ්‍යාවක් පැවැත්වූවා. කොළඹ විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය හා ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය තමයි ඒක සංවිධානය කර තිබුණේ.?


ගීතය හා ජනප්‍රිය සංස්කෘතිය යන මැයෙන් තමයි ඒ උත්සවය සංවිධානය කර තිබුණේ. මගේ ගීත පිළිබඳව මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර හා තවත් මහාචාර්ය, ආචාර්යවරු කිහිප පොළක් අදහස් දැක්වූවා. 

කොළඹ සරසවියේ නව කලාගාරයේදී තමයි පසුගිය නොවැම්බර් 06 වැනිදා සවස මේ වැඩසටහන පැවැත්වූවේ.

ඇත්තටම එහිදී මගේ ගීත අටක් පමණ තෝරාගෙන ඒ සම්බන්ධව කතාවක් කළා. විශ්වවිද්‍යාල ළමයි ඒ සම්බන්ධව දැනුවත් වුණා. අදහස් හුවමාරු කරගත්තා. ඊට අමතරව ඔවුන් මගේ ගීත ගැයුවා. මමත් ගීත 5ක් පමණ ගායනා කළා. 


මේ වැඩසටහනට සහභාගි වූ මොහොතේ ඔබට මොනවද හිතුණේ.?


මේ වැඩසටහන සංවිධානය වුණේ විශ්වවිද්‍යාලය තුළින්මයි. මම නිකමටවත් කාටවත් මෙහෙම දෙයක් කරමු කියලා. පුංචි යෝජනාවත් කරලා නැහැ. 

කොහොම හරි ඉතින් මේ නිසාම මට ලොකු සතුටක් තියෙනවා. මම ගැන, මගේ ගීත ගැන කතිකාවක් වගේම ඇගයීමක් ලැබුණා නේද කියලා. ඔවුන් මගේ ගීතවලින් සමාජයේ ඇති ප්‍රශ්න හා ඒ පසුබිම ගැන කතාබහ කරන එක ගැන සතුටින් යුතුව කතා කළා. 


මේ විචාර සන්ධ්‍යාවේදී ඇතැමුන් විවේචනයෙන් යුතුව බැලුව “ගුණේ අයියගේ කාමරේ” ගීතය ගැනත් කතාබහට ලක් වුණා.?


ඔව්. මේ ගීතය තුළින් කියැවෙන්නේ අපේ සමාජයේ එක්තරා පන්තියක් එසේත් නැතිනම් සමාජ පසුබිමක් ගැනයි. ඒ සම්බන්ධව මේ කතිකාවේදී අදහස් හුවමාරු වුණා. ඇත්තටම කවුරු බැන්නත්, ‍ෙදාස් කිව්වත් විශ්වවිද්‍යාල භූමියක, විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු වගේම උගත් සිසු සිසුවියන් ඒ සම්බන්ධව දැක්වූ අදහස් මම උතුම් කොට සලකනවා. ඒ යහපත් විචාරය මට හුඟාක් වැදගත්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා නැති මට ඒ වගේම ඒ උගතුන් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගන්නෙත් නැතුව මෙහෙම පිළිගැනීමක් ලැබීමම මට ඇති. ඒක මගේ වාසනාවක්.

මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය මොහොමඩ් මහීස් හා හර්ෂ අබේකෝන් යන මහත්වරුන්ට විශේෂයෙන්ම ස්තුති කළ යුතුයි. 


මේ උත්සවයට සහභාගි වී ගෞරව ආදරයට පාත්‍ර වූ ඔබට දැන් මොනවද හිතෙන්නේ?


මම පොඩි කාලේ ඉඳලම උත්සාහ ගත්තේ මේ සමාජයට මගෙන් මොකක් හෝ සේවයක් කරන්නයි. ඒ අනුව මම ගායකයෙක් වෙලා මගේ තෝරා ගැනීම අනුව වෙනස්ම විදිහේ ගීත ගායනා කළා. අවුරුදු 56 කට පස්සේ ඒ දේ මම කරලා තිබෙනවා කියලා හරියටම පිළිගැනීමක් ලැබුණේ කොළඹ විශ්වවිද්‍යාලයෙන්. 

මම ගීත ගැයුවේ මේ සමාජයට. මේ සමාජයේ තිබෙන විවිධ පැතිකඩ මගේ ගීතවලට විෂය වුණා. මගේ ඉලක්කය වුණේ මේ සමාජය තුළ ජීවත් වන සාමාන්‍ය මිනිස්සු. ඔවුන්ගේ ප්‍රශ්න. මම ඒ ඉලක්කය අපේ සමාජය ඉන්න සාමාන්‍ය රසික රසිකාවියෝ. කොහොම හරි එදා මේ කතිකාවට සම්බන්ධ වුණු උගත් ආචාර්ය මහාචාර්යවරු ලොකු උදේ‍යා්ගයකින් ඒ ගැන කතා කළා. “ලස්සනට පිපුණු වනමල්” “මාලී” “කිරිදුන්නේ දරුවන්ටයි” “සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි” “ගුණේ අයියගේ කාමරේ.” වගේ ගීත ගැන ඉතා හොඳ විචාරයක් කළා. මේ විචාරය මීයට පිම්බ වගේ උගත් දරු දැරියෝ අහගෙන හිටියා. ඉතින් මේ වෙලාවේ මගේ හිතට දැනුණු සතුට අප්‍රමාණයි. 

සමන් ප්‍රියංකර නම්මුනිගේ



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: