Saturday, January 12, 2019

ෆෙඩරල් පාලනය කෙටියෙන් මෙසේය.

SHARE
Loading...
මතු යම් දවසක මුල් ලියවිල්ල සොයා ගැනීමට බැරිවන තරමට සංශෝධනවලින් බහුලවීමට නියමිතව තිබූ අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එහෙම පිටින්ම අකුලා තබා අලූත්ම ව්‍යවස්ථාවක් ගෙන එන්නට යන බව දැන ගන්නට තිබේ. මේ සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින සහ ඒ වෙනුවෙන් කතාකරන අය අතර ප‍්‍රමුඛයන් ලෙස සිටින්නෝ දෙමළ සන්ධානයේ එම්. ඒ. සුමන්දිරන් සහ ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකය. දෙමළ සන්ධානයේ බෙදුම්වාදී දේශපාලනය සහ අනුර දිසානායකලාගේ ප‍්‍රගතිශීලී දේශපාලනය අතර නොගැලපෙන තැන් රාශියක් තිබේ. එසේ වුවද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නමැති කාරණය හරහා රනිල්ටත් මෛතී‍්‍රටත් මහින්දටත් එක පෙළට තබා කෙළැවිය හැකි බැවින් ‘‘මාගේ සතුරාගේ සතුරා මාගේ මිතුරාය.. යන පදනම සැලකිල්ලට ගෙන සුමන්දිරන්ලාත් අනුර දිසානායකලාත් එකතුවූ බව පැහැදිලිය. දෙදහස් නවයේ යුද ජයග‍්‍රහණයෙන් පසු ශී‍්‍ර ලංකාව නැවත වතාවක් එයට හිමි පරණ දේශපාලන සූට් එක ඇඳ ගත්තේය. ඒ සූට් එකේ හැටියට යාපනේ අයට ද කොළඹ අය විශ්වාස නැත. එසේම කොළඹ අයට යාපනය විශ්වාස නැත; එහෙත් මේ දෙගොල්ලම මුහුණට මුහුණ හමුවූ විට ඉච්චා බස් දොඩාගෙන වෙන්ට යන්නේ මතු යම් දවසක එකිනෙකාට කෙළවෙන බව සිතින් සිතා ගනිමින්ය. එනම් ප‍්‍රශ්නය ඉවර නැත. එහෙත් බැලූ බැල්මට ප‍්‍රශ්නය ඉවරය. බැලූ බැල්මට එල්. ටී. ටී. ඊ. ය නැත; ඒ වෙනුවට ආවා සංවිධානය පැමිණ ඇත. උතුර නියෝජනය කරන දේශපාලනඥයෝ වෙනදා වගේම කොළඹට වී සැප ගත්තාහ; ඒ අතර අතරින් පතර නැගී සිට උතුරේ ජනතාව දුකින් සිටින බව කියා හොටු පෙරාගෙන අඬන්නාහ. මේ සංයුතිය තුළ උතුරේ සිටින එකාත් දකුණේ සිටින එකාත් හැඬුම්බරව බලා සිටින්නේ කවරකු හෝ ඇහැට ඇඟිල්ලෙන් අනින තුරුය. මුලින් දකින එකාට අනෙක් පාර්ශ්වයෙන් මන්න පහර කෑමට සිදුවන අතර එතැන් සිට රජ වනු ඇත්තේ මානව අයිතිවාසිකම් විකුණාගෙන කන මුත්තුලා පෙරේරලා සහ ප‍්‍රනාන්දුලා ය.

 ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට සැරසෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් ෆෙඩරල් ක‍්‍රමය ප‍්‍රවර්ධනය කෙරෙන බව දැන ගන්නට තිබේ. සංකල්පයක් වශයෙන් ෆෙඩරල් ක‍්‍රමය ලංකාව තුළ ප‍්‍රවර්ධනය කිරීමේ පුරෝගාමියා වන්නේ සැමුවෙල් ජේම්ස් වේලූපිල්ලේ චෙල්වනායගම් ය. ඉලංකෙයි තමිල් අරසු කච්චි සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ යන පක්‍ෂ දෙක පිළිවෙළින් 1949 සහ 1972 දී බිහි කරන ලද්දේ චෙල්වනායගම්ගේ මූලිකත්වයෙනි. මෙයින් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය එදා සිටම හඳුන්වන ලද්දේ ෆෙඩරල් පක්‍ෂය ලෙසය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බයක් හැකක් නැතිවම ඊළාම් සටනට සහය දෙමින් ඊළාම් පක්‍ෂයක් බවට පත් විය. උතුරට ෆෙඩරල් අයිතිවාසිකම් ලබා ගැනීම චෙල්වනායගම්ගේ අරමුණ විය. ඒ සඳහා ඔහු 1957 දී එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක සමගත් 1965 දී ඩඞ්ලි සේනානායක සමගත් ගිවිසුම් අත්සන් කළේය. 1976 වන විට ඔහුට ෆෙඩරල් එපා වී ඊළමක් මතුවිය. ඒ අනුව ඔහු 1976 මැයි 14 වැනිදා යාපනයේ වඩුක්කොඩෙයි ප‍්‍රදේශයේදී රැස්වීමක් පවත්වා ඊළම ලබා ගැනීම සඳහා ප‍්‍රඥප්තියක් ඉදිරිපත් කළේය. එය වඩුක්කොඩෙයි ප‍්‍රකාශනය ලෙස හැඳින්වෙයි. ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදී වැඩපිළිවෙළට දේශපාලන චූන් එක සපයන ලද්දේ මෙකී වඩුක්කොඩෙයි ප‍්‍රකාශනයෙනි.

 ලංකාවේ ජනයා ෆෙඩරල් විසඳුමකට බය ඇයි? එකී විසඳුම මතු යම් දවසක ඊළම දක්වා ගමන් කරන නිසාය. එනම් ඊළම දක්වා යන පාරේ තිබෙන ප‍්‍රධාන කඳවුර ෆෙඩරල් වාදයයි. මෙහි නැවතී සන්නද්ධ වී” තුවක්කු සුද්ද කරගෙන පතරොම් පටිවලට පතරොම් පුරවාගෙන ඉදිරියට යාමට ත‍්‍රස්තවාදියාට පුළුවන. නිකම් හොඳට ඉන්න මිනිහාත් ෆෙඩරල්වාදය තුළදී ත‍්‍රස්තවාදියකු බවට පත්වෙයි. ලංකාවේ පළාත් නවයේ සම්පත් බෙදී ගොස් තිබෙන පිළිවෙළට අනුව වඩාත්ම යහපත් වන්නේ දැනට තිබෙන පාලන ක‍්‍රමයය. මේ රටේ දල ජාතික නිෂ්පාදිතයෙන් 42% ක්ම නිපදවන්නේ බස්නාහිර පළාතය. දකුණු පළාත නිපදවන්නේ 10.8% කි. ඌව පළාත නිපදවන්නේ 5% කි. උතුර නිපදවන්නේ 3.6% කි. ෆෙඩරල් ක‍්‍රමයක් තුළදී ඒ ඒ පළාත්වල සම්පත් ඒ ඒ පළාත් ආණ්ඩුවලට අවශ්‍ය පරිදි කළමනාකරණය කිරීමේ යම් නිදහසක් ලැබෙන නිසා බස්නාහිරෙන් උතුරට උපකාර කිරීමක් තවදුරටත් සිදුවන්නේ නැත. මෙවිට රටේ දල ජාතික නිෂ්පාදිතයෙන් 3.8% ක් පමණක් නිපදවන උතුරේ වැසියා බලවත්සේ ශෝකයට පත්ව ඊළමක්ම ඉල්ලයි. ෆෙඩරල් කතාව ඉතා සරළව ඉතා කෙටියෙන් එසේය.
-දිවයින පුවත්පත


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: