Friday, January 18, 2019

නව ව්‍යවස්‌ථාවකට වෙලාව මෙය නොවේ,මල්වතු මහ නාහිමියෝ එජාප මැති ඇමැතිවරුන්ට කියති.

SHARE
Loading...
නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම මේ මොහොතේ යෝග්‍ය නොවන බවත්, මැතිවරණයකට පසුව ඒ සඳහා කටයුතු කිරීම වඩා සුදුසු වන බවත්, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.
මෙම ව්‍යවස්‌ථා ක්‍රියාවලිය වසර දෙක තුනක පටන් ආරම්භ කර ඉදිරියට පවත්වා ගෙන ආ එකක්‌ බවත් මෙය කඩිමුඩියේ ගෙන එන එකක්‌ ලෙස පිළිගත නොහැකි බවත් කී මහනාහිමියෝ පවතින තත්ත්වය අනුව මෙම අවස්‌ථාවේ නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට අවශ්‍ය කාලය නොමැති බැවින් වඩා සුදුසු වන්නේ ජනාධිපතිවරණ මහමැතිවරණ පළාත් සභා මැතිවරණ ආදී මැතිවරණ සියල්ල අවසාන වීමෙන් පසු මේ සඳහා කටයුතු කිරීම බවද කීහ.
එබැවින් ඉදිරියට ඇති කාලසීමාවේදී ව්‍යවස්‌ථා සංශෝධන පසෙක තබා ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් සොයා බලා ජනතාවට සහන ලබා දීමට කටයුතු කිරීම යෝග්‍ය බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එමින් රට බෙදීමේ අවශ්‍යතාවක්‌ කිසිවකුට හෝ ඇතැයි තමන් වහන්සේ විශ්වාස නොකරන බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.
විපක්‌ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක්‌ද නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම පිණිස පත්කළ කමිටු නියෝජනය කරමින් අදහස්‌ ඉදිරිපත් කර තිබෙන බවත් ගෙන ඒමට යෝජිත ව්‍යවස්‌ථාව සඳහා වන යෝජනා තුළ නරක මෙන්ම හොඳ ද තිබෙන බවත් උන්වහන්සේ කීහ.
නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම උදෙසා ව්‍යවස්‌ථා මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පත් කරනු ලැබූ විශේෂඥ කමිටුවේ වාර්තාව පිළිබඳව මල්වතු අස්‌ගිරි උභය මහ විහාරීය මහනායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට පිළිගන්වා කරුණු ඉදිරිපත් කිරීම පිණිස එක්‌සත් ජාතික පක්‌ෂයේ මැති ඇමැතිවරු කණ්‌ඩායමක්‌ ඊයේ (18 දා) ගිය අවස්‌ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.
පාර්ලිමේන්තුවේ සභානායක, උඩරට උරුමය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති රංජිත් මද්දුමබණ්‌ඩාර, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ,නාගරික සංවර්ධන හා ජලාපවහන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්‌ඩාර, මයන්ත දිසානායක යන මහත්වරු මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.
මෙම නියෝජිත පිරිස අස්‌ගිරි මහ විහාරයට ගොස්‌ එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.
මේ වනවිට ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කර හෝ කෙටුම්පත් කර නොමැති බවත් දේශපාලන පක්‌ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ප්‍රධාන ඇමැතිවරු, සිවිල් සංවිධාන හා මානව හිමිකම් සංවිධාන නියෝජිතවරු ඇතුළු විශාල පිරිසකගේ යෝජනා ඇතුළත් විශේෂඥ වාර්තාවක්‌ පමණක්‌ ඉදිරිපත් කර තිබෙන බවත් මෙහි ඇති කරුණු පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බඳුන් කර සියලු දෙනාගේ එකඟත්වය මත පමණක්‌ ව්‍යවස්‌ථාවක්‌ කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය සිදු කෙරන කරන බවත් ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
පාර්ලිමේන්තුව තුළ එකසත් ජාතික පක්‌ෂයට තුනෙන් දෙකක බලයක්‌ නොමැති බවත් නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්නේ නම් එය සම්මත කිරීමට අනිවාර්යයෙන්ම විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගත යුතු බවත් ඒ මහතා කීය.
රටේ ඒකීයභාවයත් බෞද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානයත් එලෙසින්ම ආරක්‌ෂා වන ව්‍යවස්‌ථාවක්‌ මිස රටට හානිකර යෝජනා ඇතුළත් ව්‍යවස්‌ථාවක්‌ කිසිවිටෙකත් එක්‌සත් ජාතික පක්‌ෂය ගෙන නොඑන බවත් අද මහින්ද රාජපක්‌ෂ ප්‍රමුඛ කණ්‌ඩායම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රචාර ගෙන යමින් ජනතාව මුලා කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඇමැතිවරයා පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්‌ඩාර මහතා කතා කරමින් නව ව්‍යවස්‌ථාවක්‌ කවුරුවත් ඉල්ලුවේ නැතැයි විපක්‌ෂයේ පිරිස්‌ අද ප්‍රකාශ කරන බවත් පවතින ව්‍යවස්‌ථාව ගෙන ආ දවසේ පටන් සිරිමාවෝ මැතිනියගේ සිට වර්තමානයේ ව්‍යවස්‌ථාවක්‌ එපා යෑයි කියන ජී. එල්. පීරිස්‌ මහතා දක්‌වා අය ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව පිළිබඳ කතා කර තිබෙන බවත් ප්‍රකාශ කළේය.
වත්මන් ව්‍යවස්‌ථාව යටතේ ක්‍රියාත්මක විධායක ජනපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව චන්ද්‍රිකා ජනපතිනියත් මහින්ද රාජපක්‌ෂ හිටපු ජනපතිවරයාත් වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් අදහස්‌ දක්‌වා ඇති බව පැවසූ ඒ මහතා ඒ සම්බන්ධ තොරතුරු ඇතුළත් වාර්තා ඇතුළත් ගොනුවක්‌ මහනාහිමිවරුන්ට පිළිගැන් වීය.
දැනට සකස්‌ කර තිබෙන යෝජනාවලියේ ඇති සාධනීය හා අසාධනීය කොටස්‌ පිළිබඳ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයේදී සාකච්ඡා කර එය තුනෙන් දෙකක බහුතර කැමැත්තෙන් සම්මත වුවහොත් කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කෙරෙන බවත් එහිදී සම්මත වීමෙන් පසු ව්‍යවස්‌ථාව කෙටුම්පත් කෙරෙන බවත් කී රංගේ බණ්‌ඩාර මහතා පසුව එම කෙටුම්පත යළිත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත විය යුතු බවද අවධාරණය කළේය.
දැනට පවතින්නේ යෝජනාවලියක්‌ පමණක්‌ බවත් විපක්‌ෂය බොරු බිල්ලන් මවා ජනතාව නොමඟ යවමින් සිටින බවත් හෙතෙම කීය.
-දිවයින පුවත්පත



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: