Loading...
වර්තමානයේ ගාලූ කොටුවේ පිහිටි ඉඩම් හා නිවාසවලට ලැබී ඇත්තේ නොවටිනා මිලකි. පර්චසයක මිල කෝටි දෙක දක්වා ඉහළ ගොස් තිබේ. කොටින්ම කිවහොත් මෙකී ඉඩම් හා නිවාසවලට සුද්දන් වශීවෙලාය. කොටුවේ ඇති ඉඩම් හා නිවාසවලට මෙවැනි වටිනාකමක් ලැබී ඇත්තේ අයිකෝමෝස් සංවිධානය විසින් ගාලූ කොටුව ලෝක උරුමයක් ලෙස නම් කිරීමත් සමගය. සැබවින්ම මේ නිසා ගාලූ කොටුව ගැනෙන්නේ ජීවමාන බලකොටුවක් ලෙසය. මෙහි නිවැසියන්ට සිය ජීවන අවශ්‍යතා ඉටු කරගෙන ජීවත් වීමට ඉඩ ලැබෙන නමුත් බලකොටුවේ ඓතිහාසික වටපිටාව, ඉඩ පරාසය හා මාර්ග රටාව ආරක්‍ෂා කිරීම පිළිබඳ සහතික විය යුතුය. සෑම දෙයක්ම කළ යුත්තේ පුරාවිද්‍යා නීති රීති ආරක්‍ෂා වන අයුරිනි.
කෙසේ වුවද ගාලූ කොටුවේ ඉඩම් හා නිවාස විදේශිකයන්ට විකිණෙන්නට පටන් ගත්තේ අද ඊයේ නොවේ. ගාලූ කොටුවේ වැසියන් පවසන පරිදි කොටුව තුළ මුලින්ම ඉඩමක් විදේශිකයන්ට විකිණුනේ 1986 දී පමණය. එහෙත් ඇමරිකානු ජාතික චාල්ස් ජාහස්ල් පවසා ඇත්තේ ගාලූ කොටුවෙන් ඉඩමක් මිලදීගත් පළමු විදේශිකයා තමන් බවය.
එහෙත් ගාලූ කොටුවේ ඉඩම් හා නිවාස සුද්දන්ට විකිණීමේ කලබැගෑනිය හටගත්තේ ඉකුත් එක්සත් ජාතික පෙරමුණු පාලන කාලයේ දීය. එක්සත් ජාතික පෙරමුණු රජය විසින් 2002 අංක 11 දරණ මුදල් පනත සම්මත කිරීමත් සමග විදේශිකයකු විසින් ලංකාවේ යම් දේපළක් මිලදී ගන්නා අවස්ථාවේදී රජයට ගෙවිය යුතු සියයට සියයේ බදු මුදල අහෝසි කළේය.
මෙකී බදු මුදල අහෝසි කිරීම නිසා විදේශිකයකු විසින් ලංකාවේ දේපළක් මිලදී ගන්නා විට ගෙවිය යුත්තේ ලාංකික පුරවැසියන් මෙන් දේපළ පැවරීමකදී ගෙවිය යුතු මුද්දර ගාස්තුව පමණි. මේ නිසා ගාලූ කොටුවේ නිවාස විදේශිකයන් විසින් මිලදී ගැනීම විශාල වශයෙන් වැඩිවූහ. කෙසේ වුවද 2004 වසරේ දී බලයට පත්වූ සන්ධාන රජය මගින් පෙර තිබූ සියයට සියයේ බද්ද නැවත පැනවීය. මෙකී බද්ද පැනවුවද විදේශිකයන් විසින් ඉඩම් මිලදී ගැනීම නතර වූයේ නැත.
ගාලූ කොටුවේ ගොඩනැගිලි සියයකට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශිකයන් විසින් මිලට ගෙන ඇතිබව පවසන්නේ ගාලූ උරුමය පදනමයි. පසුගිය වසර දෙක තුළ මෙසේ මිල ඉහළයාම නිසා ගාලූ කොටුවේ ඉඩම් විදේශිකයන් විසින් අත්පත් කරගැනීමේ තත්වය අඩුවූ බවද කලින් වසර දෙකකට පෙර පර්චසයක් රුපියල් මිලියන දහයට පමණ අළෙවි වූ ගාල්ල කොටුවේ ඉඩම් දැන් මිලියන දහයත් පහළොවත් දක්වා ඉහළ ගොස් ඇති බවද ගාලූ උරුමය පදනම පවසයි.
ඒ කොයිහැටි වුවද තැරැව්කරුවන්ගේ මැදිහත්වීම මත නඩු තිබෙන ගොඩනැගිලි ද තැරැව්කරුවන් විසින් විදේශිකයන්ට රවටා විකිණීම නිසා ඒවා මිලට ගෙන ඇති විදේශිකයන් ගැටලූ රැසකට මුහුණ දී තිබේ. ඒ හේතුව නිසා ආයෝජකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව පැවසේ. රජයේ ආයතන පවත්වාගෙන යන ගොඩනැගිලි 37 ඇතුළු ගොඩනැගිලි හාරසිය පනහක් පමණ කොටුවේ තිබෙන අතර ඒවායින් සියයකට අධික ප‍්‍රමාණයක් මේ වනවිට මෙසේ විදේශිකයන් විසින් මිලට ගෙන සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන බවද ගාලූ උරුමය පදනම පවසයි.එසේම කොටුවේ ඉඩම් ලබාගන්නා ලද විදේශිකයන් විසින් ඒවා වෙනත් අයට අළෙවි කිරීමේ ප‍්‍රවණතාවයක් මෙන්ම දේශීය ධනවතුන් විසින් මෙම ඉඩම් මිලට ගැනීමට උත්සාහ කරන ප‍්‍රවණතාවක්ද මේ වන විට දක්නට තිබේ.
විදේශිකයන් විසින් ගාලූ කොටුවෙන් නිවාස මිලදී ගැනීම අධෛර්යවත් කිරීම සඳහා කොටුවේ පිහිටි වසර සියයකට වඩා පැරැණි නිවාස හා තවත් ගොඩනැඟිලි 145 ක් ආරක්‍ෂිත ස්මාරක ලෙස නම්කරනු ලැබීය. ඒ සන්ධාන රජයේ එවකට සංස්කෘතික ඇමැතිවරයා වූ විජිත හේරත් මහතා විසිනි. පුරාවස්තු ආඥා පනතේ 19 වන වගන්තිය යටතේ මෙම ඉපැරැණි නිවාස ආරක්‍ෂිත ස්මාරක ලෙස ප‍්‍රකාශයට පත් කළේය. ඒ 2004 ජූලි මස 30 වැනිදාය.
මේ කුමන නීති රීති පැනවුවද විදේශිකයන් විසින් ගාලූ කොටුවේ පිහිටි නිවාස මිලදී ගැනීම නතර කොට නැත. අනික් කාරණය වන්නේ මෙකී ඉඩම් හා නිවාස මිලදී ගැනීමේදී විදේශිකයන් විසින් අපේ ඇත්තන්ගේ සහයෝගය ඇතිව නොයෙකුත් උප්පරවැට්ටි අනුගමනය කිරීමය. සියයට සියේ බද්ද පැනවුවද ඒවායින් රිංගා යන ආකාරය පිළිබඳ විදේශිකයන්ට උපදෙස් දෙන්නේ අපේ ඇත්තන්ය. එම කාර්යය සඳහා පළපුරුද්දක් සහිත නීතිඥ හා නොතාරිස්වරුන් සොයා ගැනීම එතරම් අපහසු කාරියක් නොවේ.
මෙහිදී විදේශිකයන් විසින් අනුගමනය කරන එක් ක‍්‍රමයක් වන්නේ ශ‍්‍රී ලාංකික නියෝජිතයකු නමින් අදාළ දේපළ මිලට ගෙන අනූනම අවුරුදු බදු පදනම යටතේ එම දේපළ විදේශිකයා විසින් මිලදී ගැනීමය. අනික් ක‍්‍රමය වන්නේ විදේශිකයකු විසින් ඉඩම් හා නිවාස මිලදී ගැනීමේදී සමාගමක් වශයෙන් ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී එම සමාගම හරහා නිවාස මිලදී ගැනීමය. මේ තුළ සිදුවන්නේ හරි අපූරු ක‍්‍රියාදාමයකි. මෙහිදී විදේශිකයකු නිවසක් මිලදී ගන්නේ නම් එම නිවාසයේ හිමිකරු සමග එක්වී ආයෝජන මණ්ඩලයේ සමාගමක් ලෙස ලියාපදිංචි කරන්නේය.
සමාගමේ අයිතිකරු නොඑසේ නම් සියයට හැත්තෑපහක් පමණ කොටස් හිමිකර ගන්නේ නිවස විකුණන තැනැත්තාය. ඉතිරි සියයට විසිපහ විදේශිකයා විසින් මිලදී ගනී. මේ අනුව අදාළ නිවස මිලදී ගන්නේ මෙකී සමාගම හරහාය. සමාගමේ අයිතිකරු ශ‍්‍රී ලාංකිකයකු නිසා සියයට සියයේ බදු මුදල ගෙවීම අවශ්‍ය නොවේ.
ගණුදෙනුව සිදුවන්නේ දෙදෙනා අතර ඇති විශ්වාසය මතය. ඉන්පසු විදේශිකයා විසින් සමාගමේ ඉතිරි කොටස් ප‍්‍රමාණයද ඔහු විසින්ම මිලදී ගනියි. මේ ආකාරයට විදේශිකයන් විසින් පුද්ගලික නිවාස හා දේපළ මිලදී ගැනීමේදී රජයට සියයට සියයේ බදු ආදායම ලැබෙන්නේ නැත. අනික් කාරණය වන්නේ විදේශිකයෝ ගාලූ කොටුවේ ඉඩම් හා නිවාස දැන් මිලදී ගන්නේ අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගනිමිනි. ගාලූ කොටුවෙන් නිවාස මිලදීගෙන ඇති ඇතැම් විදේශිකයන් කොටුවෙන් පිටත නිවාස හා දේපළ විදේශීය ගැනුම්කරුවන්ට සොයාදීම සඳහා අතරමැදියන් ලෙසද කටයුතු කරති. සැබවින්ම ජාවාරමකි. එක් අතකින් කොටුවේ නිවැසියන්ට මෙය කදිම ඉල්ලමකි.
එමෙන්ම ගාලූ කොටුවේ ඉඩම් හා නිවාස මිලදීගත් විදේශිකයන් වැඩි පිරිසක් එම නිවාස සංචාරක කර්මාන්තය හා ඒ ආශ‍්‍රිත විවිධ ව්‍යාපාර පවත්වාගෙන යති. ඇතැම් නිවාස සංචාරක ලැගුම්හල් බවට පත්කොට ඇත. සුද්දන් මෙකීි ලැගුම්හල්ද යොදාගෙන කරන්නේ තම වරිගයාට සේවා සැපයීමයි. ඉන් අපේ රටට නම් වන සෙතක් නැත. නිවාස මිලදීගත් විදේශිකයන් දෙතුන් දෙනෙක් කොටුව තුළ ඇඳුම් විකිණීම ආදී කුඩා ව්‍යාපාර ද පවත්වාගෙන යති. පුද්ගලික නිවාස තමයි, සුද්දන්ට විකුණන්නේ. ඇත්තටම මේ විදියට විදේශිකයන් කොටුවේ නිවාස මිලදීගෙන ගියොත් පන්සලට දායකයන් පවා නැති වේවි. ඉඩම් හා නිවාසවලට ලැබී ඇති නොවටිනා මිල නිසා තමයි අපේ අය නිවාස විකුණන්න පෙළඹී තියෙන්නේ. ඒ ගාලූ කොටුවේ පදිංචිකරුවන්ගේ අදහසයි.
එමෙන්ම අපේ ඇත්තන් නිවාස විකුණන්නේ කුමන කරුණු කාරණා නිසාද කියා මෙහිදී සලකා බැලිය යුත්තේය. ඉන් පළමුවැන්න ආර්ථික ගැටලූය. අනික සමාජීය ගැටලූය. දෑවැදි දේපළ ආදි ගැටලූ මෙන්ම තම දුවා දරුවන් උසස් අධ්‍යාපනයට යොමු කිරීම ආදී හේතු රාශියක් මේ සඳහා බලපා තිබේ. අනික නිවාසයක් සඳහා කෝටි හය හතක මිලක් ලැබෙන විට ඊට අකැමැති වන මිනිසුන් බලාපොරොත්තු වීමද යථාර්ථයක් නොවේ. එහෙත් ආර්ථික ගැටලූවක් නැති කොටුවේ පදිංචිකරුවන් තම නිවාස කීයටවත් විකුණන්නේ නැත.
නොයෙකුත් ගැටලූ නිසා තමයි පුද්ගලික නිවාස සුද්දන්ට විකුණන්නේ. කෙටිකාලීනව මෙය අපේ අයට වාසිවුණත් දිගු කාලීනව බැලූවොත් මෙය එතරම් හොඳ තතත්වයක් නොවෙයි. කොටුවේ පිහිටීම අවට පරිසරය මෙන්ම මෙහි විවිධ ජාතීන් පදිංචිවෙලා ඉන්නවා. ඔවුන් අතර තිබෙන සමගිය ආදී හේතුන් විදේශිකයන් මෙහි නිවාස මිලදී ගැනීමට හේතුවෙලා තියෙනවා ගාලූ කොටුවේ පදිංචි එච්. එස්. ඒ. චන්ද්‍රසිරි (60) කීවේය.
විදේශිකයන් පමණක් නොව මෙරට සුපිරි පැලැන්තියේ අයද ගාලූ කොටුවෙන් නිවාස මිලදීගෙන ඇත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් දෙදෙනකුද කොටුවෙන් නිවාස මිලදී ගැනීමට සොයමින් සිටින බවද දැනගන්නට ඇත.
‘‘ගාලූ කොටුවේ පෞරාණික බව තියෙන්න ඕන. ඒ ගැන කතා දෙකක් නැත. ඒ වගේම එහි පදිංචිකරුවන්ගේ සිතුම් පැතුම්වලටත් ඉඩක් දෙන්න ඕන. අප කාටත් අපිටම වෙන්වූ සංස්කෘතියක් තියෙනවා. නිවාස ඇතුළත නවීකරණය කිරීමේදී දැනට තිබෙන නීති රීති ලිහිල් විය යුතුයි. මේ විදියට ගියොත් කොටුවේ ජීවමාන බව නැතිවෙලා මළ උරුමයක් පමණක් බවට පත්වේවි. ’’ කොටුවේ ව්‍යාපාරිකයකු කීවේය.
එමෙන්ම ගාලූ කොටුව මෙන්ම නගරයද සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීම පසුගිය රජයේ අපේක්‍ෂාව වී තිබුණි. විදෙස් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා කොටුව තුළ නොයෙකුත් ව්‍යාපෘති ක‍්‍රියාත්මක වන්නේද එබැවිනි. විදේශිකයන් මෙරටට ගෙන්වා අපේ ඇත්තන් විසින් ඔවුනට සේවා අලෙවි කොට විදේශ විනිමය උපයා ගැනීම මෙහි අවසාන ඉලක්කයයි. මෙකී ලිපියේ මුලදී සඳහන් කළ පරිදි විදේශිකයන් විසින් විදේශිකයන්ට සේවා අලෙවිකරණ පසුබිමක් තුළ අපේ අයට බලාපොරොත්තු වන අයුරින් සෙතක් නොවන බව නම් පැහැදිලිය. විදේශිකයන් කොටුවේ නිවාස මිලදී ගැනීම නිසා නිවාසවලට ඉහළ වටිනාකමක් ලැබිලා තියෙනවා. මේ නිසා කොටුව දියුණු වෙනවා. මට කොටුවේ නිවාස දෙක තුනක් තියෙනවා. මම නම් කවදාවත් එම නිවාස සුද්දන්ට විකුණන්නේ නැහැ. හැබැයි සුද්දෝ නිවාස ගන්නවාට මම විරුද්ධත් නැහැ. මේ ඇතැම් අයගේ අදහසයි. ඒ විතරක් නොව මේවන විට චීන ජාතිකයන්ද ගාලූ කොටුව තුළ අවන්හල් පවත්වාගෙන යති. එයද ඉදිරියේ ගැටලූවක් බවට පත්විය හැක. විදේශිකයන් ගාලූ කොටුවෙන් නිවාස මිලදී ගැනීම ගැන එහි පදිංචිකරුවන් විවිධ වූ මත පළකරති. ඇතැමුන් ඒ සඳහා පක්ෂය. තවත් පිරිසක් විරුද්ධය. සුද්දන් මේ අයුරින් කොටුවේ ඇති නිවාස මිලදී ගැනීමේ ක‍්‍රියාදාමය දිගින් දිගටම සිදු කළහොත් යළිත් ගාලූ කොටුව සුද්දන්ගේ යටත් විජිතයක් වන බව නම් පැහැදිලිය.
ගාලූ කොටුව තුළ දේපළ මිලදී ගැනීම පිණිස විදේශිකයන් මුලින් අනුගමනය කළ උපාය මාර්ගය වූයේ ශ‍්‍රී ලාංකිකයෙකුගේ නමට එය මිලදී ගැනීමය. එහෙත් අදාළ ශ‍්‍රී ලාංකිකයා විසින් එම දේපළ තමන් සන්තක කර ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් මේ වන විට විදේශිකයන් ඒ ආකාරයට දේපළ මිලදී ගැනීම නවතා දමා තිබේ. ගාල්ල කොටුව ප‍්‍රදේශයේ දැනට නිවාස 276 ක්, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය කාර්යාල 24 ක් සහ පාසල් දෙකක් පිහිටා තිබෙන අතර 2006 වසරේ සිට 2017 වසර මැද භාගය දක්වා ව්‍යාපාරික ස්ථාන 111 ක් සිය කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙන බව ගාල්ල කඩවත් සතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කරයි.
මේ අතර 2017 වසර මැද භාගය දක්වා කොටුව ප‍්‍රදේශය තුළ ගාල්ල මහ නගර සභාවට වරිපනම් ගෙවන්නන් අතර සමාගම් නමින් වරිපනම් ගෙවන්නන් 75 දෙනෙකු සිටින නමුත් විදේශිකයන් නමින් වරිපනම් ගෙවන්නන් ඒ අතර සොයා ගත නොහැකි බව ගාල්ල මහ නගර සභාව බීබීසී සිංහල සේවයට පැවසීය.
ලලිත් චාමින්ද(divina)
0 comments: