Sunday, May 26, 2019

වෙනත් ලොවක සිට අපේ ලෝකයට ඇවිත් යන මිනිස්සු.

SHARE
Loading...
එක්දහස් නවසිය පනස් හතර අවුරුද්දේ ගී‍්‍රෂ්ම කාලය ජපානයට ඉතාම නරක සමයක් විය. ඉහින් කනිින් දහදිය පෙරුණ ඒ කාලයේ එක් දවසක යුුරෝපයෙන් පැමිණි ගුවන් යානයක් ජපානයේ ටෝකියෝවේ හනේදා ගුවන් තොටුපළට පහත් විය. යානයෙන් පිටතට ආ මගීහු ගුවන් තොටුපළේ ආගමන විගමන කවුළු ඉදිරියේ පෙළ ගැසුණාහ. මේ පෝලිමේ සිටි මිනිසකු අත අමුතු ජාතියක විදේශ ගමන් බලපත‍්‍රයක් විය. ඒ බලපත‍්‍රය ගැන කතා කිරීමට කලින් එහි අයිතිකරු ගැන කෙටි විස්තරයක් කරමු. හේ, ඉතා පිළිවෙළට ඇඳ පැලඳගත් මැදිවියේ මිනිසෙකි. ඔහුගේ හැඩය කොකේසියානු හැඩයකි. මධ්‍යම ආසියාවේ ජීවත් වන කොකේසියානු මිනිස්සු කහ පැහැති සමක් ඇති අය වෙති. ඔහුගේ අතේ වූ විදේශ ගමන් බලපත‍්‍රය TAaured නමැති රටට අයත් විය. එහෙත් TAaured (ටෝරෙඞ්) නමැති රටක් මේ වන විට ලෝක සිතියමේ කොතැනකවත් නැත. තමා මේ අවුරුද්දේ ජපානයට පැමිණි තුන්වන වතාව මෙය බව ඔහු ආගමන විගමන නිලධාරීන්ට ප‍්‍රංශ භාෂාවෙන් පැවසීය. ඔහු ජපන් බස ද කතා කළේය. තවත් භාෂා අටක් පමණ ඔහුට කතා කළ හැකි විය. ඔහුගේ මුදල් පසුම්බියේ විවිධ රටවලට අයත් මුදල් වර්ග විය. එයින් හැඟුණේ් ඔහු නිරතුරුවම පිටරටවල සංචාරය කරන්නකු බවය.

athbutha2ගුවන් මගියා සම්බන්ධයෙන් එක් විශාල ගැටලූවක් විය. ඒ ඔහුගේ රටය. ටෝරෙඞ් නමැති ඒ රට කිසිම ලෝක සිතියමක නැතත් ප‍්‍රංශය සහ ස්පාඤ්ඤය අතර පිහිටා තිබෙන රටක් බව මගියා කීවේය. ඔහු අත තිබූ විදේශ ගමන් බලපත‍්‍රය නිකුත් කර තිබුණේ ටෝරෙඞ් නමැති ජනරජයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසිනි. ජපානය ඇතුළු රටවල් ගණනාවකට ම අයත් වීසා බලපත් එම ගමන් බලපතෙහි විය. මෙය ඉතා සංකීර්ණ ගැටලූවක් නිසා ජපන් ආගමන විගමන නිලධාරීහු ඔහු සේවය කරන්නේ යැයි කියන, ටෝරෙඞ් රටේ පිහිටි සමාගමට දුරකථනයෙන් කතා කළහ. ඔහු එම සමාගමේ සේවකයකු වන නමුත් දිගු කලකින් ඔහු ගැන තොරතුරක් නොලද බව සමාගම කීවේය. මෙයින් හැඟී ගියේ ටෝරෙඞ් යනුවෙන් රටක් ඇති බවකි. එය කොහේ පිහිටි රටක් දැයි කවුරුත් නොදත්හ. ඔහු සතුව ටෝරෙඞ් වාණිජ බැංකුව නිකුත් කළ චෙක් පොතක් තිබුණි. එවැනි බැංකුවක් ගැන ජපන් ආගමන විගමන නිලධාරීන් ඇසූ මුල් වතාව එය විය. එක්කෝ ඔහු පිස්සෙකි. නැතහොත් විහිළුකාරයෙකි. එහෙමත් නැත්නම් වංචනිකයෙකි. ජපනුන් ඔහු ගැන කල්පනා කළේ එසේය; ලෝක සිතියමක් ඇතොත් තම මවුබිම පෙන්විය හැකි බව මගියා විසින් කියන ලදී. එවිට ඔහු වෙත සිතියමක් ඉදිරිපත් කරන ලදී. ස්පාඤ්ඤය සහ ප‍්‍රංශය අතර තිබෙන ඇන්ඩෝරා නමැති කුඩා රටක් දැක්වූ ඔහු එය තම මවුබිම බවත් එහි තම ටෝරෙඞ් වෙනුවට ඇන්ඩෝරා යනුවෙන් සඳහන්ව ඇත්තේ මුද්‍රණ දෝෂයක් නිසා විය හැකි බවත් කියන්නට විය. ආගමන විගමන නිලධාරීන් එය පිළිගත්තේ නැත. බලවත් සේ කෝපයට පත් වූ මගියා පෙරදින තමන් ගුවන් ගත වනවිටත් ටෝරෙඞ් රාජ්‍යය යහතින් පැවැති බව කීවේය. එය වසර දහස් ගණනක් පැරණි රටක් බවද සඳහන් කළේය. මෙය කෙළවරක් නැති කතාවකි. මගියා ජපානය තුළට මුදා හැරීම ප‍්‍රතික්‍ෂේප කළ ආගමන විගමන නිලධාරීහු ඔහු අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපළට යාබද හෝටලයක රඳවා තැබූහ. කාමරයේ දෙර අසලත් හෝටලය අවටත් ආරක්‍ෂක භට පිරිස් රඳවා තබන ලදී. ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය සහ රියැදුරු බලපත‍්‍රය ද ජපන් රජය භාරයට ගෙන ආගමන විගමන අංශයේ යකඩ සේප්පුවක ලා අගුල් දමන ලද්දේය.

athbutha3පසුදිනට පහන් විය. මගියා හෝටල් කාමරයෙන් අතුරුදන්ව තිබූ අතර ආගමන විගමන අංශයේ යකඩ සේප්පු තුළ ඔහුගේ විදේශ ගමන් බල පත‍්‍රය ද රියැදුරු බලපත‍්‍රය ද අතුරුදන්ව තිබීය. ටෝරෙඞ් රටින් පැමිණි සාමාජිකයා පිළිබඳ කතාව එතැන් සිට කතන්දරයක් පමණක්ම විය. එදා ඔහු ගොඩබසින විට ජපානයේ හනේදා ගුවන් තොටුපළේ සේවය කළ, ඔහු සමග කතා බහ කළ ආගමන විගමන නිලධාරීහු මෑතක් වනතුරුම ජීවත්ව සිටියහ. මෙවැනි සිද්ධීන් පිළිබඳ සඳහන් වන The Directory of Possibilities (1981) නමැති ග‍්‍රන්ථයේ මේ කතාව සවිස්තරාත්මකව දක්වා තිබේ.

 ටෝරෙඞ් රාජ්‍යය හා සමාන තවත් මනඃකල්පිත රටවල් දෙකක් ගැන සත්‍ය කතන්දර දෙකක් තිබේ. ඉන් පළමුවැන්න ලක්සාරියා ය. දෙවැන්න ලිස්බියා ය. ජර්මනියේ ප‍්‍රෑන්ක්ෆර්ට් නගරයේ රස්තියාදු වෙමින් සිටි ජෝෆර් මොරින් නමැති තරුණයෙක් 1851 සැප්තැම්බර් 30 වැනිදා පොලිසියට හසු විය. ඔහු කොහෙන් පැමිණියේ දැයි විමසන ලදුව දැන ගන්නට ලැබුණේ ලෝක සිතියම් පොත්වල තැන් සකි‍්‍රයා නමැති මහාද්වීපයේ පිහිටි ලක්සාරියා නමැති රටකින් ඔහු පැමිණි බවය. තරුණයා මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ විට ඔහු ඉතා හොඳ සිහියෙන් සිටින අයකු බව හෙළි විය. 1905 දී ප‍්‍රංශයේ පැරිස් නගරයේ කඩයකින් පාන් ගෙඩියක් පැහැරගත් තරුණයෙක් පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු කතා කළ බස කාටවත් තේරුම් නැත. දින දෙකක පමණ ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඔහු ලිස්බියා නමැති රටින් පැමිණි අයෙක් බව හෙළි විය. එය පෘතුගාලයේ ලිස්බන් නගරය ලෙස වටහාගත් ප‍්‍රංශ පොලිසිය පෘතුගීසි භාෂා පරිවර්තකයෙක් එහි ගෙන්වා ගත්තේය. එහෙත් තරුණයා කතා කළ බස පෘතුගීසි නොවන බව භාෂා පරිවර්තකයා කීවේය. අන්තිමේදී ඔහු මුදා හරින ලදී. පසුව ඔහු ආගිය අතක් නැති විය.

 ***************

ඉහත සඳහන් මිනිසුන් ආගිය අතක් නැති වූවේ ඇයි? ඔවුන් ගියේ කවර තැනකටද? ඔවුන් වෙනත් ලෝකයක සිට මෙහි පැමිණ අතරමංව සිට ආපසු තමන් පැමිණි ලෝකයටම ගිය අය වීද?

 Parallal Univers හෙවත් සමාන්තර විශ්ව යනුවෙන් සංකල්පයක් භෞතික විද්‍යාත්මක ලෝකයෙහි ඇත. අපේ විශ්වය, අපේ චක‍්‍රාවාටය, අපේ ග‍්‍රහ මණ්ඩලය, අපේ පෘථිවිය ඇතුළු අප අවට ඇති සෑම සියලූ දේකම කාබන් කොපි බඳු පිටපත් තිබෙන බව එම සංකල්පය මගින් පැහැදිලි කරනු ලැබේ. මේ ලිපිය ආරම්භයේ සඳහන් කෙරුණු පුද්ගලයන් කිහිපදෙනා පෙරකී ආකාරයේ සමාන්තර විශ්වයක පිහිටි සමාන්තර ග‍්‍රහලෝකවලින් පැමිණි පුද්ගලයන් බවට තර්කයක් පවතී.

 (සමාන්තර විශ්ව සහ ඒවායින් පෘථිවියට එන අමුත්තන් පිළිබඳ විශේෂ ලිපි පෙළක් ලබන සතියේ සිට)
-දිවයින පුවත්පත


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: