Friday, January 11, 2019

බිරිඳ ලෝකෙම ධනවතිය කරලා දික්කසාදෙ දුන්නු පුදුම සැමියා

SHARE
Loading...

ලෝකයේ ලොකුම සල්ලිකාරයා වන්නේ සුප්‍රකට ඇමසෝන් සමාගමේ නිර්මාතෘවරයා වන ජෙෆ් බෙසෝස්ය. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ජයග්‍රහණ නිසා නිතර ඔහු මාධ්‍ය තුළ කතාබහට ලක් වෙයි. නමුත් මේ වන විට බෙසෝස් ගැන කියැවෙන කතාව එවැන්නක් නොවේ.
පසුගිය දිනවල ඔහු මාධ්‍ය තුළ වඩාත්ම අවධානයට ලක් වූයේ ඔහුත්, වසර 25ක් තිස්සේ ඔහුගේ බිරිය වූ මැකෙන්සිත් එකිනෙකාගෙන් දික්කසාද වීමේ පුවත නිසාය. මේ වන විට ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින ජෙෆ් බෙසෝස්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 140ක් බව සඳහන් වේ. එය ලංකාවේ මුදලින් රුපියල් බිලියන 25,000කට කිට්ටුය! මේ තරම් වස්තු සම්පත් තිබියදීත් මේ දෙදෙනාට දික්කසාද වීමට සිදු වූයේ මන්ද යන්න බොහෝ දෙනකු තුළ මතුවන ප්‍රශ්නයක් වනවාට සැකයක් නැත.
මාධ්‍ය වාර්තා කර තිබූ අන්දමට මෙයට හේතු වී ඇත්තේ ජෙෆ් බෙසෝස් සහ තවත් කාන්තාවක අතර පැවැති සම්බන්ධයකි. ලොරේන් සන්චෙස් නමැති මෙම කාන්තාවද ඉතා ධනවත් රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක බව පැවසේ. ඇයද කලින් විවාහ වී සිටි තැනැත්තියකි.
ලොරේන් විවාහ වී සිට ඇත්තේද තවත් ධන කුවේරයකු වන පැටි්‍රක් වයිට්සෙල් නමැත්තා සමඟය. ඔහු හොලිවුඩ් සිනමා කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරිකයකු බව සඳහන් වේ. කෙසේ නමුත් පැටි්‍රක් සහ ලොරේන් දෙදෙනාද මෙයට කලකට පෙර එකිනෙකාගෙන් දික්කසාද වී තිබේ.
කලක් පැටි්‍රක්, ලොරේන්, ජෙෆ් සහ මැකෙන්සි ඉතා හොඳ මිතුරන් ලෙස ආශ්‍රය කර ඇති අතර ජෙෆ් ලොරේන් හඳුනාගෙන ඇත්තේ ද ඇගේ සැමියා වූ පැටි්‍රක් හරහාමය. අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ජෙෆ් සහ ලොරේන් අතර පසුගිය මාස 8කට ආසන්න කාලයක් තුළ ඉතා සමීප සම්බන්ධයක් තිබී ඇත. ඔහු ලොරේන් සමඟ ඔහුගේ පෞද්ගලික ගුවන්යානාවලින්, ඉතා මිල අධික විනෝද ගමන්වල නිරතව ඇති බව පැවසෙන අතර ඉතා සරාගී දුරකථන පණිවුඩ සහ ඡායාරූප ආදියද ඔවුන් අතර හුවමාරු වී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. ජෙෆ්ගේ බිරිය මැකෙන්සි කාලයක් යනතුරු මේ සම්බන්ධය ගැන නොදැන සිට ඇති බවක්ද පෙනේ. අවසානයේ දෙදෙනා දික්කසාද වීමට තීරණය කර ඇත්තේ මේ සම්බන්ධය පිළිබඳ අනාවරණය වීමෙන් පසුව බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම දික්කසාදය නිසා ජෙෆ් බෙසෝස්ගේ ඩොලර් බිලියන 140ක ධනය දෙදෙනා අතර සමසේ බෙදී යනු ඇතැයි පැවසේ. ඔවුන් ජීවත් වන වොෂින්ටන් ප්‍රදේශයේ නීතිය අනුව අඹුසැමි යුවළක් ඔවුන්ගේ විවාහ ජීවිතය තුළ උපයන ලද ධනයට දෙදෙනාටම සමාන අයිතියක් තිබේ. එසේ නොවන්නේ ධනය බෙදී යන ආකාරය සම්බන්ධයෙන් වෙනම ගිවිසුමක් ඔවුන් අතර තිබේ නම් පමණි.
මෙවැනි ගිවිසුමක් ජෙෆ් සහ මැකෙන්සි අතර තිබෙන බවක් මේ වනවිට නම් දැනගන්නට නොමැත. මේ අනුව මැකෙන්සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 70කට ආසන්න වත්කමක් හිමි වීමට ඉඩ තිබේ. ලෝකයේ දික්කසාදයකදී ගෙවනු ලැබූ වැඩිම වත්කම් ප්‍රමාණය මෙය බවට පත්වනු ඇත. දික්කසාදය හේතුවෙන් මැකෙන්සිද ඉතා ධනවත් කාන්තාවක බවට පත්වීමට යන බව පෙනේ. මෙම ධනස්කන්ධය ඇයට හිමි වුවහොත් ඇය මේ වනවිට ලොව සිටින ධනවත්ම කාන්තාව බවට පත්වෙයි. දැනට මෙම වාර්තාවට හිමිකම් කියන ෆ්‍රන්සුවා බෙටන්කෝට් මේයර්ස් නමැති ප්‍රංශ ජාතික බිලියනපතිනියගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 45ක් පමණි.
මේ අතර, මෙයට පෙර දික්කසාදයකදී ගෙවා තිබූ වැඩිම වත්කම් ප්‍රමාණය ලෙස සැලකුණේ තවත් ප්‍රංශ බිලියනපතියකු විසින් ගෙවනු ලැබ තිබූ ස්ටර්ලිං පවුම් බිලියන 3ක වත්කමකි. ජෙෆ්ගේ ඉහත කී වත්කම් ප්‍රමාණය මැකෙන්සිට හිමි වුවහොත් ඉන්පසු ඔහුට ලොව ධනවත්ම මිනිසා යන 'නම්බු නාමය' ද අහිමි වනු ඇත.
මැකෙන්සි නවකතාකාරියක ලෙස ද ප්‍රසිද්ධියක් දිනා සිටින කාන්තාවක වන අතර ඇයගේ නිර්මාණවලට සම්මාන පවා හිමිව ඇති බව පැවසේ. ඇය සහ ජෙෆ් මුල්වරට මුණගැසී ඇත්තේ ජෙෆ් ඔහුගේ සුප්‍රකට ඇමසෝන් සමාගම ආරම්භ කිරීමට කලිනි. ඒ කාලයේ ඔහු වෙනත් ආයතනයක විධායක නිලධාරියකු ලෙස රැකියාව කරමින් සිට ඇති අතර මැකෙන්සි ද එම ආයතනයේ රැකියාව කර තිබේ.
ඇය මෙම රැකියාව සඳහා බඳවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණය පවත්වා ඇත්තේ ද ජෙෆ්ය. පසුව 1993 වසරේ ඔවුන් දෙදෙනා විවාහ වී ඇත. ජෙෆ් ඇමසෝන් ආයතනය ආරම්භ කරද්දී මැකෙන්සිගෙන් ඔහුට විශාල සහායක් ලැබුණු බව ද සඳහන් වේ.
1994 වසරේ ඔහු එම සමාගම ආරම්භ කළේ ඉතාම සුළුවෙනි. අන්තර්ජාලය හරහා පොත් විකුණන සිල්ලර වෙළෙඳ ආයතනයක් ලෙස ඇරඹුණු මෙය අද වනවිට ලෝකයේ වටිනාම සමාගම් අතර පෙරමුණේ සිටියි. මුල් වසරවල එහි ගිණුම් කටයුතු කරන ලද්දේ මැකෙන්සි විසින් බව සඳහන් වේ. අද වනවිට ඇමසෝන් සමාගම පොත් අලෙවි ක්‍ෂේත්‍රයේ පමණක් නොව තවත් බොහෝ ක්‍ෂේත්‍ර තුළ සිය අණසක පතුරුවමින් සිටියි.
ජෙෆ් සහ මැකෙන්සි
දෙදෙනාට දරුවෝ සිවු දෙනෙක් ද සිටිති.
-මවිබිම පුවත්පත(සනත් වික්‍රමගේ)



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: