Sunday, January 6, 2019

සුනිල් ශාන්තව වැලිකඩින් පැන්නූ හොර බන්ධනාගාර නියාමක මාට්ටු

SHARE
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළට බන්ධනාගාර නියාමකවරයකු ලෙස වෙස් වළාගෙන පැමිණ ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වන සුනිල් ශාන්ත නමැත්තා මුදා ගෙන පලා ගිය ප්‍රධාන සැකකරු වන
හිටපු යුද හමුදා සාමාජිකයා රහස් පොලිස් නිලධාරීන් විසින් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී පෙරේදා (05දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගම්වෙහෙර, දෙව්රම්වෙහෙර, දෙගල්දෙහැර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 32 හැවිරිදි මහේෂ් ඉන්දික ප්‍රභාත් නමැති සැකකරුය. 2017 වසරේ මීගමුව ප්‍රදේශයේ සිදුවූ රුපියල් ලක්ෂ 76ක කොල්ලයක් සම්බන්ධයෙන් සැකපිට මොහුව පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුව යුද හමුදා සේවයෙන් ඉවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඉකුත් නොවැම්බර් 17 වැනි දින මෙම සැකකරු බන්ධනාගාර නියාමකවරයකු ලෙස වෙස්වළාගෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළට පැමිණ සුනිල් ශාන්ත නමැත්තාව ඉන් මුදාගෙන පලාගොස් තිබිණි.
අනතුරුව මෙම සැකකරු කුලී මෝටර් රථයකින් සුනිල් ශාන්තව දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට රැගෙන ගොස් තිබිණි.රුපියල් ලක්ෂ 15ක පොරොන්දු මුදලක් මත ඉන්දික නමැත්තා මෙලෙස සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් මුදා ගෙන ඇති බවද පොලිසිය පවසයි.

මීට සති කිහිපයකට ඉහතදී සුනිල් ශාන්ත නමැත්තා මීමුරය ප්‍රදේශයේ සැඟවී සිටියදී සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කෑගල්ල බන්ධනාගාරයේ සිට කළුතර බන්ධනාගාරයට භාරදීම සඳහා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ මොහොතේ සුනිල් ශාන්තව මෙම ප්‍රධාන සැකකරු විසින් මෙසේ මුදා ගෙන තිබිණි. බන්ධනාගාර රැඳවියන් හුවමාරු කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් මෙම පැහැරගෙන යෑම සිදුවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

සුනිල් ශාන්ත බන්ධනාගාරය තුළදී භාවිත කළ ඇපල් වර්ගයේ ජංගම දුරකථන තුනක් ඔහු අවසන් වරට රඳවා සිටි කෑගල්ල බන්ධනාගාර සිරකුටිය තුළ තිබී සොයා ගනු ලැබූ අතර එම දුරකථනය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සුනිල් ශාන්ත සහ මෙම ප්‍රධාන සැකකරු අතර සිදුවූ සංවාද ඇතුළත් විස්තරද රහස් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි. එම ඇමතුම් ඔස්සේ සහ ලැබුණු තොරතුරු මත සිදු කළ විමර්ශනවලට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම පලා යෑමේ සිද්ධිය වාර්තා වීමත් සමඟ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙහි විමර්ශන කටයුතු රහස් පොලිසියට භාර දී තිබිණි.

ප්‍රධාන සැකකරු පෙරේදා (05දා) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර එහිදී හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා හෙට (08දා) දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

-චාමර අමරසුරිය-


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: